Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චරිත් - හසරංග ස්පෝට්ස්ටාර් කණ්ඩායමට

චරිත් - හසරංග ස්පෝට්ස්ටාර් කණ්ඩායමට

editorial - 2021 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලානය තරගාවලියේ සුපිරි 12 අදියරේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රීඩකයන් 11 දෙනකු ඉන්දියාවේ සුප්‍රකට ‘ද ස්පෝට්ස්ටාර්’ සඟරාව විසින් තෝරාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු වන චරිත් අසලංක සහ වනිඳු හසරංග මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

කණ්ඩායම වෙනුවෙන් නායකයකු නම්කර නැතත් තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 11 දෙනා අතුරින් වඩාත්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වන්නේ ඬේවිඞ් වෝනර්ය. කෙසේ වෙතත් වත්මන් දස්කම්ද සලකා බැලීමේදී පාකිස්තානු නායක බාබර් අසාම් කණ්ඩායමේ නායකයා ලෙස නම්කළ හැකිය. 

1. ජොස් බට්ලර්
සුපරි කණ්ඩායම් 12 අතර පැවැති මූලික වටයේදී ලකුණු 240 ක් රැස්කරමින් දෙවන වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූ එංගලන්ත ආරම්භක පිතිකරු ජොස් බට්ලර් 155.84 ක විශ්මයජනක ප්‍රහාරයක වේගයක් රඳවාගෙන ඇත. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ දුෂ්කර පිතිහරඹයක නිරත වෙමින් පසුව වේගපන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් පන්දු 67 කදි ලබාගත් ශතකය මේ දක්වා තරගාවලිය තුල වාර්තා වූ එකම ශතකය වන්නේය.

2. ඬේවිඞ් වෝනර්
අසාර්ථක වීම් කිහිපයකින් පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේදී සන්රයිසස් හයිඩද්‍රාබාද් කණ්ඩායමෙන් අවිනිශ්චිත ලෙස ඉවත් කළ ඬේවිඞ් වෝනර් සිය විවේචකයින් නිශ්ශබ්ද කර ඇත්තේ මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී ලකුණු 187 ක් රැස්කරමින් සහ සාමාන්‍යය 46.75 ක් ලෙස රඳවා ගනිමිනි. ප්‍රහාරයක වේගය 144.96 ක් ලෙස පවත්වා ගැනීමටද ඔහු සමත්වී ඇත. සුපර් කණ්ඩායම් 12 අතර පැවැති තරග පහකදී අර්ධ ශතක දෙකක් ලබාගෙන ඇති වෝනර්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පන්දු 56 කදී නොදැවී ලකුණු 89 ක් ලබාගනිමින් පාකිස්තානයට එරෙහිව අවසන් පූර්ව වටයට ඕස්ටේ්‍රලියාව ගෙන යෑමට සමත්විය. 

3. බාබර් අසාම්
පාකිස්තාන කණ්ඩායමේ නායකයා වන බාබර් අසාම් තරඟ පහකදී අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 264 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉහළම ස්ථාවරත්වයට පැමිණ ඇත. ප්‍රහාරාත්මක වේගය 128.15 ක් රඳවාගෙන ඇති අසාම් සහ සෙසු ආරම්භක පිතිකරු මොහොමඞ් රිස්වාන් සමගින් ශතක සම්බන්ධතා දෙකක් සමඟින් සුපිරි කණ්ඩායම් 12 අතර මූලික වටයේදී සිය කණ්ඩායමේ අපරාජිතව ඉදිරියට ගෙන යාමට සමත්විය.

4. චරිත් අසලංක
විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියට පෙර විස්සයි20 ජාත්‍යන්තර තරඟ තුනක් පමණක් ක්‍රීඩාකර සිටි චරිත් අසංලක නම් වමත් පිතිකරු ශ්‍රී ලංකා පිලේ මැදපෙළ ශක්තිමත් කිරීමට සමත්විය. ලකුණු 225ක් ලබා ගැනීමින් සුපරි කණ්ඩායම් 12 අතර මූලික වටයේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා විය. බංග්ලාදේශයට එරෙහිව ලකුණු 172 ක ඉලක්කයක් හඹා යාමේදී අසලංක පන්දු 49 කදී නොදැවී ලකුණු 80 ක් ඇතුළුව තරග ජයග්‍රාහී අර්ධ ශතක දෙකක් ලබා ගත්තේය. 153.06 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගත්, 24 හැවිරිදි ක්‍රීඩකයා, ආක්‍රමණශීලීත්වය සහ කණ්ඩායමේ නැංගුරම යන අවස්ථාවන්ට ඔහුගේ අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කළේය.

5. රසී වැන් ඩර් ඩසන්
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ වැන් ඩර් ඩසන් ලකුණු 177ක් රැස් කළ අතර පන්දු 60කදී නොදැවී ලකුණු 94ක් රැස්කරමින් තම කණ්ඩායම එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. තරගාවලියෙන් ඉවත්වීමට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ බංග්ලාදේශයට එරෙහිව මැදපෙළ තුළ දැඩි ප්‍රහාරාත්මක තත්වයක් ඇති කිරීමට ඔහු සමත්විය.

6. මොයින් අලි
පිතිකරණ අනුපිළිවෙලෙහි එහා මෙහා යාමට මෙන්ම ගුණාත්මක දඟ පන්දු ඕවර හතරක් ලබා දිය හැකි විශිෂ්ට විස්සයි20 ක්‍රීඩකයෙකු වන මොයින් අලි, එංගලන්ත කණ්ඩායමට අත්‍යවශ්‍ය සමබරතාවය ලබා දී ඇත. සුපිරි කණ්ඩායම් 12 අතර මූලික වටයේ පැවැති තරග 5 කදී කඩුලු හතක් දවාගෙන ඇති අලී නව පන්දුවෙන් ලකුණු ලබාදීමේ වේගය 5.72 ක් ලෙස රඳවාගෙන ඇත. ඔහුට මේ වන විට පිත්තෙන් දස්කම් දැක්වීමට වැඩි අවස්ථාවක් නොලැබුණත්, දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 27 කදී ලකුණු 37ක් ලබා ගැනීම ඔහුගේ තුන් ඉරියව් දක්ෂතාවයට සාක්ෂියකි.

7. අසීෆ් අලි
පිතිකරණ අනුපිළිවෙලෙහි පහළින් පන්දුවට පහරදුන් අලී, පාකිස්තානය වෙනුවෙන් සුපිරි කණ්ඩායම් 12 අතර මූලික වටයේදී වඩාත්ම තීරණාත්මක ඉනිම් දෙකක් ක්‍රීඩා කළේය. නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 31කින් ලකුණු 44ක් අවශ්‍යව තිබියදී, ඔහු සිය නොසන්සුන්තාවය රඳවාගනිමින් හයේ පහර 3 ක් එල්ල කරමින් පන්දු 12 කදී ලකුණු 27 ලබාගැනීමට සමත්විය. එමෙන්ම ඇෆ්ගනිස්තානයට එරෙහිව 19 වැනි ඕවරයේදී කරීම් ජැනට්ට හයේ පහර 4ක් එල්ල කරමින් තරගය අවසන් කිරීමට සමත්විය. ඔහු සිය ඉනිම් තුනේදී ලකුණු 57ක් ලබා ගත්තේ හයේ පහර 7ක් එල්ල කරමින් ලකුණු ලබාගැනීමේ වේගය 247.82ක් ලෙස රඳවා ගනිමිනි.

8. වනිඳු හසරංග
කඩුලු ත්‍රිත්වයක් ලබාගත් හසරංග සුපිරි කණ්ඩායම් 12 අතර මූලික වටයේදී කඩුලු 10 ක් ලබාගනිමින් දෙවැනි වැඩිම කඩුලු ලාභියා වූ අතර ඕවරයකදී 5.84 ක ලකුණු ලබාදීමේ වේගයක් රඳවාගෙන ගනිමින් අරපිරිමැස්මෙන් ඔහු පන්දු යවයි. පා දඟ පන්දු යවන්නා අසීරු අවස්ථාවලදී අවසන් ඕවරවලදී පවා ඕවරයකට ලකුණු පහක් පමණක් ලබා දී කඩුලු දවා ගත්තේය. ඔහුගේ නායක දසුන් ශානක විසින් නිර්මාණය කරන ලද සුපිරි තරුවක් ලෙස හසරංග හදුන්වනු ලැබේ. එංගලන්තයට එරෙහිව පන්දු 21 කදී ලකුණු 34ක් ලබා ගනිමින් පිත්තෙන් ද දස්කම් දැක්වීමට ඔහු සමත්විය.

9. ඇන්රිච් නොකියා
වේගයෙන් සහ නිරවද්‍යතාවයෙන් පන්දු යවන නෝයේ තරඟ පහකදී කඩුලු 9ක් දවාගනිමින් තරඟාවලියේදී ඕවරයකට 5.37 ක ලකුණු ලබාදීමේ වේගයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. අයි.පී.එල් තරඟාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් සුවිශේෂී ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා නව පන්දුවෙන් පිම්මක් ලබා ගත්තේය. මුල් ඕවර 6 තුලදී ඕවරයකට ලකුණු 5.75ක් පමණක් ලබා දුන් නෝයේ, තරගයේ අවසන් ඕවර තුලදී යෝකර් පන්දු එල්ල කරමින් 7.38ක සාමාන්‍යයක් රඳවා ගනිමින් පිතිකරුවන් මෙල්ල කිරීමට ඔහු සමත්විය.

10.ටේ‍රන්ට් බෝල්ට්
වමතින් වේගපන්දු යවන ක්‍රීඩකයා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති දරුණු තරගයකදී ලකුණු 17කට කඩුලු 3ක් දවාගනිමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට රැගෙන යාමට සමත්විය. කඩුලු 11ක් දවාගත් බෝල්ට් වේග පන්දු යවන්නන් අතර ප්‍රමුඛතම පන්දු යවන්නා වූ අතර සුපිරි කණ්ඩායම් 12 හි වැඩිම කඩුලු ලාභියාද ඔහු විය. 

11. හරිස් රවුෆ්
ඔහුගේ පන්දු යැවීමේ සහකරු ෂහීන් අෆ්රිඩිගේ නෙත් ඇදගන්නා විචිත්‍රවත් භාවයෙන් යටපත් වී ඇති රවුෆ් තරඟ පහකදී කඩුලු 8ක් ලබා පාකිස්තානයේ ප්‍රමුඛතම කඩුලු ලාභියා බවට පත්ව ඇත. රවුෆ් 6.80 ක ලකුණු ලබාදීමේ ආකර්ෂණීය වේගයක් පවත්වා ගෙන ඇත. නවසීලන්තයට එරෙහිව ලකුණු 22කට කඩුලු 4ක් ලබා ගත් තරගයේදී දැකගත හැකි වූයේ ඔහුගේ වේගය යහපත් ලෙස වෙනස් කිරීමේ හැකියාව භාවිතා කර ඇති බවකි.

- 2079


අදහස් (0)

චරිත් - හසරංග ස්පෝට්ස්ටාර් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.