Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට...)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද වටිනාම ක්‍රීඩකයන්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සහ වනිඳු හසරංග ඇතුළත්ව සිටිති. රටවල් 6 ක ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, එංගලන්ත, පාකිස්තාන සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝත් ඇතුළත් වෙති.
සහභාගි වූ දෙවැනි ලෝක කුසලාන තරගයේදීම බංග්ලාදේශයට එරෙහිව පන්දු 49 කදී නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය චරිත්, එම තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය. ඉන් අනතුරව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් තවත් අර්ධ ශතකයක් (පන්දු 41 කින් ලකුණු 68 ක්) ලබාගත් ඔහු, තරග 6 කදී ලකුණු 231 ක් රැස්කරමින් තමාගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.20 ක් ලෙසත්, ලකුණු රැස්කිරීමේ වේගය 147.13 ක් ලෙසත් රඳවා ගත්තේය.
පිතිකරුවකු ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කළ වනිඳු, තරග 8 කදී කඩුලු 16 ක් දවාගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ටෙම්බා බවුමා, ඒඩ්න් මාක්‍රම් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් වනිඳු, එංගලන්තයට එරෙහිව කඩුලු 3 ක්ද, ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 2 ක්ද දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
පාකිස්තානයේ බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඕස්ට්‍රේලියාවේ ඩේඩිව් වෝනර් සහ එංගලන්තයේ ජොස් බට්ලර් නම්කරනු ලැබ ඇත. කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේද බට්ලර්ය.
කණ්ඩායමක පිතිකරු ලයිස්තුවේ වඩාත්ම වැදගත් භූමිකාව වන අංක 4 ස්ථානය
චරිත් අසලංකට හිමිව ඇත. දකුණු අප්‍රිකානු මැද පෙළ පිතිකරු ඒඩ්න් මාක්‍රම්ට අංක 5 ද, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලීට අංක 6 ද හිමිව තිබේ. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ හත්වැනි ස්ථානය හිමිව ඇති අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර ඔහුට පමණක් දෙවැනි වූ ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා 8 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
ජොෂ් හෙසල්වුඩ් (ඕස්ට්‍රේලියාව), ට්‍රෙන්ට් බොල්ට් (නවසීලන්තය) සහ ඇන්රික් නොකියා (දකුණු අප්‍රිකාව) මෙම කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස නම් කර සිටිති.
කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා ලෙස පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි නම් කර තිබේ.
ඉයන් බිෂොප්, නටාලී ජර්මන්ස්, ෂේන් වොට්සන්, ලෝරන්ස් බූත් සහ ශහීඩ් හෂ්මි යන විස්තර චිචාරකයන් සහ මාධ්‍යවේදීන්ගෙන් සමන්විත මඩුල්ලක් විසින් මෙම වටිනාම කණ්ඩායම තෝරාගනු ලැබ ඇත.
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයන්ගේ කණ්ඩායම
(පිතිකරු ලයිස්තුවේ අනුපිළිවෙල අනුව). මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එක් එක් ක්‍රීඩකයන් ලබාගත් ලකුණු සහ කඩුලු ඉදිරියෙන් දැක්වේ.
1 ඩේවිඩ් වෝනර් - ලකුණු 289 (සාමාන්‍යය 48.16)
2 ජොස් බට්ලර් - ලකුණු 269 (සාමාන්‍යය 89.66)
3 බාබර් අසාම් (නායක) - ලකුණු 303 (සාමාන්‍යය 60.60)
4 චරිත් අසලංක - ලකුණු 231 (සාමාන්‍යය 46.20)
5 ඒඩ්න් මාක්‍රම් - ලකුණු 162 (සාමාන්‍යය 54.00)
6 මුයින් අලී - ලකුණු 92 සහ කඩුලු 11
7 වනිඳු හසරංග - කඩුලු 16 (සාමාන්‍යය 9.75)
8 ඇඩම් සම්පා - කඩුලු 13 (සාමාන්‍යය 12.07)
9 ජොෂ් හෙසල්වුඩ් - කඩුලු 11 (සාමාන්‍යය 15.90)
10 ට්‍රෙන්ට් බෝල්ට් - කඩුලු 13 (සාමාන්‍යය 13.30)
11 ඇන්රික් නොකියා - කඩුලු 9 (සාමාන්‍යය 11.55)
12 ශහීන් අෆ්රිඩි - කඩුලු 7 (සාමාන්‍යය 24.14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.