Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගේල් ලෝක කුසලාන වාර්තා පොත අලූතෙන් ලියයි

ගේල් ලෝක කුසලාන වාර්තා පොත අලූතෙන් ලියයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිස් ගේල් යනු කවුරුන්ද යන්න ලෝක ක‍්‍රිකට් ලෝලින්ට අමුතුවෙන් කිවයුකු නැත. ගේල්ගේ පිත්ත ක‍්‍රියාත්මක වුවහොත් එය ප‍්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි අකුණු සහිත ධාරාණිපාත වර්ෂාවක් වනවාට නම් සැක නැත.

ලෝකයේ සෙසු කණ්ඩායම් මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමද අද (24 වැනිදා) එම අත්දැකීමට මුහුණ දීමට සිදුවිය. 35 හැවිරිදි ගේල් නැවතත් හනුමාන් චරිතයට පණ පෙවීම නම් ලෝක කුසලාන තරගාවලියේදී සෑම කණ්ඩායමකටම භයානක ප‍්‍රවෘත්තියකි.

ක‍්‍රිස් ගේල් සිම්බාබ්වේට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවරදී අද දිනයේ කළ පිතිහරඹයත් සමගින් නැවතත් කරළියට පැමිණියේය. ඒ ලෝක වාර්තාගත ලකුණු 215 රැස්කිරීමෙනි.

පසුගිය කාලය පුරා දැඩි පසු බෑමකට ලක්ව සිටි ක‍්‍රිස් ගේල් 2013 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 109 ක් රැුස්කිරීමෙන් පසුව වසර දෙකකට පසුව මෙම ද්විත්ව ශතකය රැස්කිරීම කැපී පෙනේ.

ගේල් එම ඉනිමෙන් පසුව ඉනිම 20 කදී වැඩිම ලකුණු ලෙස රැස්කර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස බංග්ලාදේශයට රැස්කළ ලකුණු 58 පමණි. මෙහිදී ක‍්‍රිස් ගේල් වසර 50 කට ආසන්න ලෝක එක්දින වංශ කථාවේ සහ ලෝක කුසලාන ඉතිහාසයේ පරිච්ජේද රැසක් නැවත ලිවීමට සමත් විය.  

ක‍්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 133) එක්න්‍ දෙවැනි කඩුල්ලට ලකුණු 372 ක සම්බන්ධතාවක් පවත්වමින් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළතම පිතිකරු සම්බන්ධතා වාර්තාව පිහිටුවූහ.

ඉන්දීය පිලේ හිටපු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් 1999 වසරේ නවසීලන්තයට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 331 ක සම්බන්ධතාව මීට පෙර  ඕනෑම කඩුල්ලක ඉහළතම එක්දින සම්බන්ධතාව ලෙස පැවතුණි.  

මෙහිදී ක‍්‍රිස් ගේල් වාර්තාගත ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 147 කදී හතරේ 10 ක් හයේ පහර 16 ක් සමගින් ලකුණු 215 ක් ලබා සිටියදී අවසන් පන්දුවේදී දැවී යෑමෙන් ඔහුගේ ලකුණු පිපාසය මොනවට පැහැදිළි වේ. මෙම ලකුණු 215 ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ද වේ.

දකුණු අප‍්‍රිකානු පිතිකරු ගැරී කර්ස්ටන් 1996 ලෝක කුසලාන තරගාවලියේ රැුස්කළ ලකුණු 188 මේ දක්වා ලෝක කුසලාන තරගාවලියක ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

ක‍්‍රිස් ගේල් රැස්කළ මෙම ලකුණු 215 ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ තෙවැනි ඉහළතම පිතිකරු ඉනිම ද වේ. ඉන්දීය පිතිකරුවන් වන රෝහිත් ශර්මා (264) සහ විරේන්ද්‍ර සෙවැග් (219) ගේල්ට ඉදිරියෙන් සිටිති.

මෙහිදී ක‍්‍රිස් ගේල්ගේ පිත්තෙන් යෝධ හයේ පහර 16 ක් නික්මුණු අතර එය ඉනිමකදී පිතිකරුවකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වේ. එම වාර්තාවට ක‍්‍රිස් ගේල්, රෝහිත් ශර්මා සහ ඒ. බී. ඩිවිලියර්ස් හයේ පහර 16 බැගින් සටහන් කරමින් සමව හිමිකම් කියති.

මෙම ඉනිමේ ක‍්‍රිස් ගේල් පහර දුන් පළමු පන්දුවේදීම සිම්බාබ්වේ ආරම්භක පන්දු යවන්නා වන ටිනාෂි පයන්ගරාගේ සිවුවැනි පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදින් අනූනමයෙන් ගැලවිණි. එහිදී මැද ඉන්නට කෙළින් පතිත වූ පන්දුව ක‍්‍රිස් ගේල්ගේ පා ආවරණයේ වැදුණ ද එහිදී ශබ්ද දෙකක් ශ‍්‍රවණය වීමෙන් විනිසුරු එය දැවී නොගිය බවට තීරණය කළේය.  

එහිදී සිම්බාබ්වේ පිල එය විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළ අතර එහිදී පැහැදිළි වූයේ පළමු ශබ්දය පිත්ත පා ආවරණයේ වැදීමක් බවයි.

පුණරූපනය සහ හෝක් අයි ඔස්සේ එය පැහැදිළි වීමත් සමඟ ක‍්‍රිස් ගේල් දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්විය. කෙසේ වෙතත් රූපවාහිනි විනිසුරු කාර්ය මණ්ඩලය තව දුරටත් පුණරූපන නැරඹීමේදී එම පන්දුව කඩුල්ලෙන් ඉහළින් යන පන්දුවක් වීම නිසා ගේල්ට ලෝක වාර්තාවට යෑමට වාසනාව පැදුණි.

ක‍්‍රිස් ගේල් මේ වන විට එක්දින තරග 266 කදී ද්විත්ව ශතකයක්, ශතක 21 ක් සහ අර්ධ ශතක 46 ක් සමගින් ලකුණු 9136 ක් රැස්කර තිබේ.


අදහස් (0)

ගේල් ලෝක කුසලාන වාර්තා පොත අලූතෙන් ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.