Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා පුහුණුකරු එළවා දමයි
අන්තර් සමාජ රග්බි

ගුවන් හමුදා පුහුණුකරු එළවා දමයි

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (31 වැනිදා) පැවැති තරගය අතරතුරදී ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ශම්ලි නවාස් මහතාව කණ්ඩායම් සීමාවෙන් පන්නා දැමීමට තරග තීරක කාවින්ද ජයසේන මහතා පියවර ගත්තේය. ගුවන් හමුදා පුහුණුකරුවා තමන්ට බාධා කරන බව පවසමින් අවස්ථා දෙකකදීම විනිසුරු ගිහාන් යටවර මහතා තරගය නතර කිරීමට පියවර ගත්තේය.

තරගයේ 54 වැනි විනාඩියේදී සහ 59 වැනි විනාඩියේදී විනිසුරුවරයා තරගය තාවකාලිකව නතර කළ අතර එම අවස්ථා දෙකේදීම ලකුණු 19-06 ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ පෙරමුණේ පසුවිය.

පළමු වරට තරගය නතර කළ අවස්ථාවේදී ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණි විනිසුරුවරයා “ශම්ලි නවාස්ව බෙන්ච් එකෙන් එළියට දානකම් මං මැච් එක කරන්නෙ නෑ. කරන්න බෑ සර්, ඩිශිෂන් එකෙන් ඩිශිෂන් එකට කෑගහනවා.” යයි තරග තීරක කාවින්ද ජයසේන මහතා අමතමින් කියා සිටියේය.

විනිසුරුවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදා පුහුණුකරු වෙත ගිය තරග තීරකවරයා, ඔහුට අවවාද කරමින් ඔහුව කණ්ඩායමේ කාර්ය මණ්ඩලය රැදී සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරුකර යැවීමට පියවර ගත්තේය. ඉන් පසුව තරගය යළි ආරම්භ කිරීමට විනිසුරුවරයා පියවර ගත්ද, එය පවත්තාවගෙන යෑමට හැකි වූයේ විනාඩි 5 ක් පමණි.

පුහුණුකරු තමාට බැන වදින බව කියමින් දෙවැනි වරටත් තරගය නතර කළ විනිසුරුවරයා “රගර් ගහන්න බෑ. මැච් ගහන්න බෑ. බූරුවා කිය කියා බනිනවා.” යැයි පවසමින් ක්‍රීඩාංගණයෙන් ඉවතට ගියේය. එහිදී ඔහු තරග තීරකවරයාට නැවත වරක් කියා සිටියේ අදාල පුහුණුකරුවාව ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන තෙක් තමා තරගය යළි ආරම්භ නොකරන බවය.

තරග තීරකවරයාගේ මැදිහත්වීම මත පුහුණුකරුවා කණ්ඩායමේ කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති ප්‍රදේශයෙන් ද ඉවත් කර, නරඹන්නන් රැදී සිටින ප්‍රදේශයට ගොස් තරගය නැරඹීමට එකඟ විය. ඒ අනුව තරගය නැවතත් ආරම්භ කෙරුණ අතර එතැන් පටන් විනාඩි 10 ක් ඇතුළත උත්සාහක දිනුමක් සහ ගෝල දිනුමක් ලබාගැනීමට ගුවන් හමුදාව සමත් විය.

සිදුවීම සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් යටවර මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ තරගය අතරතුර ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරුවාගෙන් තමාට දිගින් දිගටම බාධා එල්ල වූ බැවින් තරගය නතර කිරීමට පියවර ගත් බවය. පුහුණුකරුවා තමාට පරුෂ වචනයෙන් පවා බැණවැදුණ බවද යටවර මහතා පැවසීය.

“මුලින්ම මම ගුවන් හමුදා කණ්ඩායමේ නායකයට අඬගහලා කිව්වා එයාලගේ පුහුණුකරුට කෑගහන්න එපා කියන්න කියලා. මොකද එයාලට වාසියක් දීලා තියෙද්දි පවා එයා එකේක ඒවා කියලා කෑගහනවා. ඒත් නායකයා ඒ පණිවිඩේ අරගෙන පුහුණුකරු ලඟට ගියාම, පුහුණුකරු නායකයගේ අතේ මට වෙන පණිවිඩයක් එවනවා. තරගය පවත්වාගෙන යන්න බැරිම තැන තමයි මම නතර කළේ.” යැයිද යටවර මහතා සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ශම්ලි නවාස් මහතා ‘ලංකාදීප’යට කියා සිටියේ තරගය අතරතුර විනිසුරුවරයා ලබා දුන් ඇතැම් තීරණ අසාධාරණ බවත්, එම තීරණ නිසා තම කණ්ඩායමට විශාල පාඩුවක් වූ බැවින් තමා අසාධාරණයට එරෙහිව කතා කළ බවත්ය.

“මට ඉන්න තිබුණ තැන තමයි මමහ හිටියෙ. ඒත් එයා (විනිසුරුවරයා) එක පාරටම තරගය නතර කරලා යන්න ගියා. ඊට පස්සෙ තරග තීරක ඇවිල්ලා මට කිව්වා හිටපු තැනින් අයින් වෙන්න කියලා. මම කිව්වා මම වරදක් කරලා තියෙනවා නම් මට කාඩ් එකක් දෙන්න කියන්න මම යන්නම් කියලා. ඒත් එයා එහෙම කළේ නෑ.”

“ඊට පස්සෙ දෙවැනි පාරටත් තරගය නතර කරලා, ආයෙ පටන් ගන්න නම් මට ක්‍රීඩාංගණයෙන් එළියට යන්න කිව්වා. ඒ වෙලාවෙ කණ්ඩායමේ කාර්ය මණ්ඩලය කිව්වා තරගය අතහැරලා දාලා අපි යමු කියලා. ඒත් තරගය ඉදිරියට පවත්වාගෙන යන්න ඕන නිසා මම නරඹන්නන් ඉන්න පැත්තට ගිහින් තරගය බැලුවා.” යැයි නවාස් මහතා කීවේය.

“ලීග් ශූරතාව දිනපු ලොකු කණ්ඩායම් එක්ක බලද්දි, ගුවන් හමුදාව කියන්නෙ පොඩි කණ්ඩායමක්. 8 වැනි ස්ථානයෙ ඉඳලා තමයි අපි ටික ටික උඩට ආවෙ. ඉතින් හොඳ තරගයක් දීලා ලොකු කණ්ඩායමක් පරාද කරන්න උත්සාහ කරනකොට අසාධාරණ විනිසුරු තීරණ ලැබෙනවා නම් මොකද කරන්නෙ. ඒ වෙලාවටත් කතා කරන්න එපා නම් ඉතින් කටේ ටේප් එකක් අලවගෙන ඉන්න ඕන.” යැයිද ශම්ලි නවාස් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඩිංකා පීරිස් මහතා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අද (2 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා රග්බි සංගමයට ඉදිරිපත් කිරීමට තම සංගමය කටයුතු කරන බවය. ඉදිරි තරගවලදී විනිසුරුවන්ට තම කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා රග්බි සංගමය මැදිහත් වනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කළේය.

 


අදහස් (0)

ගුවන් හමුදා පුහුණුකරු එළවා දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.