Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා - කොළඹ තරගය අත්හිටුවයි

ගුවන් හමුදා - කොළඹ තරගය අත්හිටුවයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒකල ගුවන් හමුදා පිටියේ පෙරේදා (26) පැවැත්වීමට සූදානම් කර තිබූ ගුවන් හමුදා, කොළඹ ලීග ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගය කොළඹ කණ්ඩායමේ විරෝධතාවයක් හේතුවෙන් අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ඒකල ගුවන් හමුදා ක‍්‍රීඩාංගනයේ දැන් පවතින බව කියන  අසතුටුදායක  තත්ත්වය හේතුවෙන් තමන්ට එහිදී තරග වැදීමට නොහැකි බව  කියමින් කොළඹ  ක‍්‍රීඩකයන්  ඉදිරිපත් කළ විරෝධතාවයක් සලකා බලමින් පාපන්දු සම්මේලනය  දෙපිල අතර තරගය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වුවත් මෙවර අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී මීට පෙර සත්කාරක ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ප‍්‍රතිවාදී කණ්ඩායම් කීපයක්ම මෙම ක‍්‍රීඩාංගනයේ තරග වැදී තිබියදී කොළඹ කණ්ඩායම විරෝධතාවයක් ගොනු කිරීම විශේෂ අවධානයකට යොමුවී තිබේ.

මෙම දෙපිල අතර තරගාවලියේ පළමු අදියරේ තරගය පවත්වා ඇත්තේ කොළඹ සී.ආර්. පිටියේදී බවත් වාර්තාවේ. එහිදී කොළඹ ලීග කණ්ඩායම තරගය ජය ගෙන ඇත.

මේ අතර පෙරේදා පැවැති තරග අතරින්  එක්  තරගයකදී බේරුවල සුපර්සන් කණ්ඩායමට එරෙහිව රත්නම් කණ්ඩායම ගෝල 6-1ක ජයක් ලබා තිබේ. තරගාවලියේ දෙවැනි අදියරේදී දිගින් දිගටම පරාජය වන පොලිස් කණ්ඩායම ගෙවී ගිය සති අන්තයේදී නාවලපිටිය අප්කන්ටි‍්‍ර කණ්ඩායමටත් ගෝල 3-2 කින් පරාජය විය.

දෙවැනි අදියරේ අවසන් භාගයට පැමිණ සිටියදී ඒ කාණ්ඩයෙන් රත්නම් හා කොළඹ ලීග යන කණ්ඩායම්ද ”බී” කාණ්ඩයෙන් අනුරාධපුරය සොලිඞ් හා යුද හමුදා යන කණ්ඩායම්ද දැනටමත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්ව සිටිති.

අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන ඉතිරි කණ්ඩායම් අතර මේ වනවිට ඒ කාණ්ඩයෙන් කළුතර බ්ලූස්ටාර්ස් හා සෝන්ඩර්ස් ද ”බී” කාණ්ඩයෙන් මීගමුව දොන් බොස්කෝ හා රිනවුන් යන කණ්ඩායම්ද ඉදිරියෙන් පසුවෙති. පසුගිය සති මැදදී පැවැති තරග කීපයක් අතරින් කොළඹ කණ්ඩායම මාතර කණ්ඩායමට එරෙහිව ගෝල 6-0ක ජයක් ලැබූ තරගය කැපී පෙනුණි. එහිදී ඊ. බී. චන්න ගෝල තුනක්ම ලබා ගැනීමට සමත් විය. ඒකල ගුවන් හමුදා පිටියේදී තරග වැදීම කොළඹ ක‍්‍රීඩකයන් ප‍්‍රතික්ෂේප කළත් පසුගිය බදාදා  (23) පැවැති තරගයකදී ගුවන් හමුදා කණ්ඩායම එහිදී කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක ජයක් ලබා තිබේ.

තරගයෙන් පසු ක‍්‍රීඩාංගනයේ අසතුටුදායක  තත්ත්වය සම්බන්ධයෙන් බ්ලූස්ටාර්ස් කණ්ඩායමද පැමිණිලි කර සිටි බව වාර්තාවේ.

තරග ප‍්‍රතිඵල

  • රත්නම් කණ්ඩායම විසින් බේරුවල සුපර්සන් කණ්ඩායම පරාජය කරන ලදී. (6-1)
  • රිනවුන් කණ්ඩායම විසින් නන්දිමිත‍්‍ර කණ්ඩායම පරාජය කරන ලදී. (2-1)
  • කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.
  • යුද හමුදා කණ්ඩායම විසින් මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම පරාජය කරන ලදී. (2-0)
  • වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම හා අනුරාධපුරය සොලිඞ් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන්  තොරයි (2-2)
  • නාවලපිටිය අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායම විසින් පොලිස් පිල පරාජය කරන ලදී. (3-2)
  • සෝන්ඩර්ස්  කණ්ඩායම විසින් බේරුවල සුපර්සන් කණ්ඩායම පරාජය කරන ලදි. (2-0)
  • රත්නම් කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදී. (3-0)
  • ගුවන් හමුදා කණ්ඩායම විසින් කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (1-0)
  • කොළඹ කණ්ඩායම විසින් මාතර කණ්ඩායම පරාජය කරන ලදී. (6-0)
  • මීගමුව යූත් කණ්ඩායම හා ජාවාලේන් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි. (2-2)
  • රිනවුන් කණ්ඩායම හා මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි. (2-2)
  • කළුතර පාක් කණ්ඩායම හා නන්දිමිත‍්‍ර කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි. (1-1)
  • අනුරාධපුරය සොලිඞ් කණ්ඩායම විසින් කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (3-0)
  • වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම විසින් නාවලපිටිය අප්කන්ටි‍්‍ර ලයන්ස්  කණ්ඩායම පරාජය කරන ලදී. (2-0)
  • ජාවාලේන් කණ්ඩායම හා මාතර සිටි කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (3-3)
  • කළුතර පාක් කණ්ඩායම විසින් කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (2-1)
  • මීගමුව යූත් කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි. (0-0)

අදහස් (0)

ගුවන් හමුදා - කොළඹ තරගය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.