Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුර්බාස් - අවිෂ්ක යාපනයට ජය ගෙනෙති
එල්.පී.එල්. - 2022

ගුර්බාස් - අවිෂ්ක යාපනයට ජය ගෙනෙති

editorial - 2022 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොලඹ ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. මූලික වටයේ සහභාගි වූ තරග 8 දී යාපනය කණ්ඩායම ලැබූ 6 වැනි ජයග්‍රහණයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ ඕවර 15.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 40 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 69 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
 
අවිෂ්ක ප්‍රනාන්දු (නොදැවී 40) සමග එක්ව පළමු කඩුල්ල වෙන්වෙන් පන්දු 71 කදී ලකුණු 105 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගුර්බාස් සමත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ අවිෂ්කගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ගුර්බාස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

එල්.පී.එල්. තරගාවලියකදී ගුර්බාස් සහ අවිෂ්ක එක්ව ගොඩනැගූ තෙවැනි ශතක සම්බන්ධතාව මෙය වූ අතර එල්.පී.එල්. තරගයකදී ශතක සම්බන්ධතාවක් සඳහා අවිෂ්ක දායකත්වය ලබාදුන් 6 වැනි අවස්ථාවද මෙය විය. මෙම තරගයේදී ලබාගත් ලකුණු 40 ත් සමග මුලු ලකුණු 268 ක් ලබා මෙවර තරගාවලියේ වැඩි ලකුණු ලාභියා බවට පත්වීමටද අවිෂ්ක සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ස්ටාර්ස් කණ්ඩායමට යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබාගැනීමටත් පෙරාතුව පිටියෙන් ඉවත්කිරීමට නායක තිසර පෙරේරා සහ ෂොයිබ් මලික් සමත් වූහ.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නිෂාන් මධුෂංක පන්දු 44 කදී හයේ පහරක් සමග ලකුණු 35 ක් රැස්කළේය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩොමිනික් ඩ්‍රේක්ස් පන්දු 20 කින් ලකුනු 38 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.


කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 128
(නිෂාන් මධුෂංක 35, රවී බොපාරා 20, ඩොමිනික් ඩ්‍රේක්ස් 38, ෂොයිබ් මලික් 04/2, තිසර පෙරේරා 14/2)

යාපනය කිංග්ස් පිල - ඕවර 15.5 කදී කඩුලු 2 කට 131
(රහ්මනුල්ලා ගුර්බාස් 69, අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 40)


අදහස් (0)

ගුර්බාස් - අවිෂ්ක යාපනයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.