Last Update  :  2026-02-14 23:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝසල සහබන්දු සමුගනී

කෝසල සහබන්දු සමුගනී

editorial - 2026 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයෙකු වූ කෝසල සහබන්දු අද (14 වැනිදා) අභාවප්‍රාප්ත විය. මිය යන විට 76 වියේ පසු වූ කෝසල සහබන්දු කලක් රෝගාතුරව සිටියේය.

කෝසල සහබන්දු 1974 දී ටෙහෙරානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 X 4 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු විය. 

යෂ්ඨි හුවමාරු කිරීමේ අනුපිළිවෙල අනුව, ඒ. ප්‍රේමචන්ද්‍ර, කෝසල සහබන්දු, සුනිල් ගුණවර්ධන සහ ඩබ්ලිබ් විමලදාස එක්ව 1974 ටෙහෙරාන් ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගත් මීටර 400 X 4 සහාය දිවීමේ රන් පදක්කම එදා මෙදා තුර නැවත වතාවක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

1974 දී මීටර් 800 ඉසව්වෙන් ජාතික වාර්තාව පිහිටවූ කෝසල 1979 දී ටෝකියෝ හි පැවති ආසියානු මලලක්‍රීඩා  ශූරතාවයේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.  1980 මොස්කව් ඔලිම්පික් උළෙලේදී සහ 1982 දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

වසර ගනනාවක් ලාංකික ජවන හා පිටිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටු කළ කෝසල ගාල්ල මහින්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

1968 දී කෝසල කොළඹට පැමිණෙන විට ඔහුගේ අන්වර්ථ නාමය වූගේ ‘ගෝල් ජෙට්“ (ගාල්ලේ ජෙට් යානාව) යන්නයි. ඒ වන විට ඔහුගේ ප්‍රියතම ඉසව්ව වූයේ මීටර 800 ඉසව්වයි. කොළඹට පැමිණි පසුව සිලෝන් ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් ක්ලබ් (සී.ටී. ඇන්ඩ් එෆ්.සී) මලල ක්‍රීඩා කණ්ඩායමට එක්වූ කෝසල, එකල එම ක්‍රීඩා සමාජයේම සිටි සුනිල් ගුණවර්ධන සමගින් තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් කැපී පෙනන දස්කම් දැක්වීය. සුනිල්ගේ ඉසව් වූයේ මීටර 100 සහ 200 යි.

මේ කාලයේදී ඒ. ප්‍රේමචන්ද්‍ර  සහ ඩබ්ලිබ් විමලදාස දෙ‍ෙදනො යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් හොඳ දස්කම් දක්වමින් සිටියහ.

එකල සුප්‍රකට ක්‍රීඩා මාධ්‍යවේදීන වූ හැරී ජයවර්ධන සහ කාල්ටන් සෙනෙවිරත්න දෙදෙනාගේ අදහස් අනුව ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 400 රන් පදක්කමක් දිනාගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබිණ. ඊට පසුබිම වූයේ ඒ. ප්‍රේමචන්ද්‍ර, කෝසල සහබන්දු, සුනිල් ගුණවර්ධන සහ ඩබ්ලිබ් විමලදාස යන සිව් දෙනාම මීටර 100 සිට මීටර 800 යන ඉසව් වලදී දීප්තිමත් දස්කම් දැක්වීමයි. සුනිල් ගුණවර්ධන මීටර 200 තත්ත්පර 21.31 කින් අවසන් කළ අතර සහබන්දු මීටර 800 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය. විමලදාස මීටර 400 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය.

පුහුණුකරුවන් සමගත් අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව ප්‍රේමචන්ද්‍ර සහ විමලදාස දෙදෙනා යුද හමුදා සහාය දිවීමේ කණ්ඩායමේ 1 සහ 4 ස්ථාන සඳහාත්, කෝසල සහබන්දු සහ සුනිල් ගුණවර්ධන දෙදෙනා සී.ටී. ඇන්ඩ් එෆ්.සී. සහාය දිවීමේ කණ්ඩායමේ 2 සහ 3 ස්ථාන සඳහාත් යෙදවීමට එකඟතාවක් පැවතිණ.

ශ්‍රී ලංකාවේ කෘතිම ධාවන පථයක් නොතිබුණු 1974 දී කෝසල සහබන්දු ටෙහෙරාන් නුවරට ගියේ ශ්‍රී ලංකාවේදී තණකොළ ධාවන පථයක තරග කිරීමෙන් පසුවය. එය ඔහුගේ පළමු වැනි අන්තර්ජාතික තරගයද විය. කෝසලගේ පාවහන් වල තිබුණු ඇණ කෘතිම ධාවන පථයකට නුසුසුදු වූයෙන් සපත්තු ඇණ මාරු කර තරගයට සහභාගි වන්නට සිදුවිය. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම මීටර 400 සහාය ඉසව්ව ජයගත්තේ නව ආසියානු වාර්තාවක් ද පිහිටුවමිනි.

සමකාලීනයන් කියන පරිදි කෝසල සහබන්දු බෙහෙවින් තැන්පත් තැනැත්තෙකි.

ඔහුගේ දේහය හෙට (15 වැනිදා) පස්වරු 3.00 සිට බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර තිබේ.  අවසන් කටයුතු සඳුදා (16 වැනිදා) සිදුකිරීමට නියමිතය.


අදහස් (0)

කෝසල සහබන්දු සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.