Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිල 149 කට දැවී යයි

කොදෙව් පිල 149 කට දැවී යයි

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ‍කොදෙව් ‍පළමු ඉනිම ලකුණු 149 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඊයේ (19 වැනිදා) සමත් වූහ.

කොදෙව් ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක්වීමට පෙරාතුව නායක ක්‍රේග් බ්‍රැත්වේට් පිටියෙන් ඉවත් කිරීමට ක‍ගිසෝ රබාඩා සමත් විය. කොදෙව් ඉනිම ආරම්භ කරමින් රබාඩා යැවූ පළමු පන්දුවේදීම කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’ කොක් අතට උඩපන්දුවක් දෙමින් බ්‍රැත්වේට් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය. මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට සෙසු ආරම්භක පිතිකරුවා වූ කිරන් පවෙල්ද (5) ලුංගි න්ගිඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ආපසු ක්‍රීඩාගාරය බලා ගියේය. එතැන් පටන් කොදෙව් ඉනිමේ කඩාවැටීම ආරම්භ වූ අතර බිඳවැටිණ කඩුලු 10 න් 7 ක්ම බෙදාගැනීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත් වූහ.

ශායි‍ හෝප් (43) සහ ජර්මේන් බ්ලැක්වුඩ් (49) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය කොදෙව් ඉනිමේ කඩුල්ලක් සඳහා පැවැති ඉහළම සම්බන්ධතාව ලෙසද සටහන් විය. එහිදී හෝප් හතරේ පහර 4 ක් සමගද, බ්ලැක්වුඩ් හතරේ පහර 6 ක් සමගද ලකුණු රැස්කළහ.

ලුංගි න්ගිඩිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් හෝප් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුවද සෙසු ‍පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් බ්ලැක්වුඩ්, අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ නායක ඩීන් එල්ගා අත‍ට උඩ පන්දුවක් දෙමිනි.

කගිසෝ රබාඩා, ලුංගි න්ගිඩි සහ කේෂව් මහරාජ් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් ඉනිම විනාශ කළ අතර නිලකුණු ඕවර 3 ක් සමග ඕවර 4 ක් යවමින් එක් ලකුණකට කඩුලු 3 ක් දවාගත් වියාන් මල්ඩර් කොදෙව් ඉනිමේ අවසානය ඉක්මන් කළේය.

පළමු දිනය වූ පෙරේදා (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඊයේ සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 80 ක් පමණි. පළමු දිනය නිමාවන විට ලකුණු 59 ක් ලබා නොදැවී සිටි ක්වින්ටින් ඩි’‍ කොක්ට ඊයේ සිය ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර හතරේ පහර 8 ක් සමග ලකුණු 96 ක් ලබා සිටියදී ඔහු කයිල් මේයර්ස්ගේ පන්දුවක් හමුවේ ශායි හෝප් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 298
(ඩීන් එල්ගා 77, කයිල් වරීන් 27, ක්වින්ටින් ඩි’ කොක් 96, කගිසෝ රබාඩා නොදැවී 21, කයිල් මේයර්ස් 28/3, කේමර් රෝච් 45/3, ශැනන්‍ ගේබ්‍රියල් 65/2)

 බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 149
(ශායි හෝප් 43, ජර්මේන් බ්ලැක්වුඩ් 49, වියාන් මල්ඩර් 01/3, කගිසෝ රබාඩා 24/2, ලුංගි න්ගිඩි 27/2, කේෂව් මහරාජ් 47/2)


- 036

 


අදහස් (0)

කොදෙව් පිල 149 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.