Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසලාන හැටන් නැෂනල් බැංකුවට
වෙළෙඳසේවා තරගාවලිය

කුසලාන හැටන් නැෂනල් බැංකුවට

editorial - 2022 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

29 වැනි සුපර් ප්‍රීමියර් ලීග් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව 5 වැනි වරටත් දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය. ඒ වෙළඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ජෝන් කීල්ස් පිල කඩුලු 7 කික් පරාජයට පත්කරමිණි.

ජයග්‍රහණය සඳහා ඕවර 30 කදී ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිල ඕවර 26.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මාධව වර්ණපුර පන්දු 32 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 86 ක් සහ ආරම්භක පිතිකරු කසුන් අබේරත්න පන්දු 79 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 88 ක් ලබාගැනීමට සමත්වූහ.

රවීන් ද සිල්වා සමගින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් පැවැත්වූ කසුන් අබේරත්න ඉන් නොනැවතී සිව්වැනි කඩුල්ල සඳහා මාධව වර්ණපුර සමගින්ද පන්දු 59 කදී නොබිඳුණු ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.

ජෝන් කීල්ස් පිලේ නායක ඉෂාන් ජයරත්න පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනාගත් හැටන් නැෂනල් බැංකු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජෝන් කීල්ස් පිල ඕවර 30 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 218 ක් ලබාගැනීමට සමත්විය.

පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙත බරිත බවක් ගැනීම නිසා තරග ආරම්භ පමා විය. ඒ හේතුවෙන් එක් ඉනිමක් ඕවර 31 කට සීමා විය. තරගය ආරම්භවීමෙන් පසුව වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් අත්හිටවු තරගය නැවතත් ආරම්භවූයේ එක් ඉනිමක් ඕවර 30 කට සීමාකරමින්ය.

වේගවත් පිතිහරඹයන්හී නිරතවූ සදීර සමරවික්‍රම සහ සචිත ජයතිලක අර්ධ ශතක ලබාගනිමින් ජෝන් කීල්ස් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

සදීර සමරවික්‍රම පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත් අතර සචිත ජයතිලක පන්දු 43 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 63 ක් ලබාගැනීමට සමත්විය.

ඩිල්ෂාන් මුණවීර ඕවර 6 ක් යවමින් ලකුණු 31 කට කඩුලු 3 ක් ද, මාධව වර්ණපුර සහ රවීන් ද සිල්වා කඩුල්ල බැගින් දවාගැනිමට සමත්වූහ.

අවසන් මහා තරගය නිමාවේ අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කෙරුණි. එහිදී පළමු වරට සුපර් ප්‍රීමියර් ලීග් ශූරතාව දිනාගත් සී.ඩි.බී පිලටත්, අනුශූරතාව දිනාගත් මෝඩ් ඉංජිනියර්ස් පිලටත් ත්‍යාග ප්‍රදානය කරන ලදී. තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ හැටන් නැෂනල් බැංකු පිලේ ඩිල්ෂාන් මුණවීර හොඳම පිතිකරුවා සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත්විය. දක්ෂතම පන්දු යවන්නා ලෙස ජෝන් කීල්ස් පිලේ දුවිඳු තිලකරත්ව සම්මාන දිනාගත් අතර පිළිමළුන් පිටුදැකීමේ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හැටන් නැෂනල් බැංකු පිලේ නායක මාධව වර්ණපුර විසින් දිනාගන්නා ලදී. තරගාවලියේ නැඟීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය හේලීස් පිලේ විශාද් රන්දිකට හිමිවිය.


ජෝන් කීල්ස් - ඕවර 30 කදී කඩුලු 6 ක් දැවී 218
(දිමුත් කරුණාරත්න 22, සදීර සමරවික්‍රම 52, සචිත ජයතිලක 63, අහන් වික්‍රමසිංහ නොදැවී 26, ඩිල්ෂාන් මුණවීර 30/3)

එච්.එන්.බී - ඕවර 26.3 කදී කඩුලු 3 ක් දැවී 219
(කසුන් අබේරත්න නොදැවී 88, ඩිල්ෂාන් මුණවීර 23, මාධව වර්ණපුර නොදැවී 86)

 

හොඳම පිතිකරු - හැටන් නැෂනල් බැංකු පිලේ ඩිල්ෂාන් මුණවීර

 

හොඳම පන්දු යවන්නා - ජෝන් කීල්ස් පිලේ කවිඳු තිලකරත්න

 

නැගීඑන ක්‍රීඩකයා - හේලිස් පිලේ විශාද් රන්දික

 

පිළිමළුන් පිටුදැකීමේ අනුශූරතාවය - ජෝන් කීල්ස් කණ්ඩායම

 

ලීග් තරගාවලියේ අනුශූරතාවය - මෝඩ් ඉංජිනියරින්ග්ස් කණ්ඩායම

 

ලීග් තරගාවලියේ ශූරතාවය - සී.ඩී.බී. කණ්ඩායම

 

අවසන් තරගයේ වීරයා - මාධව වර්ණපුර

 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා -  හැටන් නැෂනල් බැංකු පිලේ ඩිල්ෂාන් මුණවීර


අදහස් (0)

කුසලාන හැටන් නැෂනල් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.