ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ. කුසල්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.
ඉන්දියාවට එරෙහිව ඉකුත් 8 වැනිදා පැවැති තරගය අතරතුර කලවා පසුපස මස්පිඬුවේ අබාධයකට ලක්වීම නිසා කුසල් ජනිත් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල්, පන්දු 44 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් ලබා සිටියදී එම අබාධයට ලක්විය.
මේ වින විට 25 වැනි වියේ පසුවන ධනංජය ද සිල්වා, එක්දින තරග 16 කදී ලකුණු 334 ක් රැස්කරමින්, කඩුලු 4 ක් දවාගෙන තිබේ. ධනංජය අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති එක්දින තරගයේදීය.
තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා නම් කර තිබූ අතර මින් පෙර අවස්ථාවකදී චාමර කපුගෙදර දණහිසේ අබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් වීම නිසා ධනුෂ්ක ගුණතිලකටද කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවිය.
මෙම තරගාවලියේදී ක්‍රීඩකයකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් අනුමැතිය ලබාගත යුතුය. ජෙෆ් ඇලඩයිස් (සභාපති), කැම්බල් ජෙමීසන්, ස්ටීව් එල්වර්ති, ඇලන් ෆෝර්ධාම්, සෞරව් ගංගුලි සහ මයිකල් ස්ලේටර් මෙම තරගාවලියේ තාක්ෂණික කමිටුව නියෝජනය කරති.
ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරගය පාකිස්තානයට එරෙහිව ලබන 12 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වෙන අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ වරම් හිමිවේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.