
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ දොරටුව අබියස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පැනීමට ඇත්තේ එක කඩුල්ලකි. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ට එසේ නොවේ. කිසියම් හෙයකින් හෙට තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් ඕස්ට්‍රේලියානුවන්ගේ ලෝක කුසලාන සිහිනයට මරු පහරක් වදිනු ඇත.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (16 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාවට ඇති හොඳම අපේක්‍ෂාව ජයග්‍රහණයයි. මක්නිසාද යත් එමගින් ශ්‍රී ලාංකිකයන්ගේ පීඩනය දුරුවන බැවිනි. සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට සිටින විශ්වාසනීය තත්ත්වය මත කිසිවක් ඉදිරියට ඉතිරිකර ගැනීම පීඩනය වැඩිකර ගැනීමේ අවදානමකි.
අයර්ලන්තය අසීරුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය හමුවේ පහසු ජයග්‍රහණයක් අත්කරගත් නමුත් ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ හෙටයි. එනම් ඕස්ට්‍රේලියාව පරාජය කළ හැකිද යන්නයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ හෙට තරගයේදී පිටියට බසින්නේ වේග පන්දු යවන්නන් සමගින්ද නැතහොත් දඟ පන්දු යවන්නන් සමගින් ද යන්න තීරණය කිරීමයි. විශේෂයෙන්ම වනිඳු හසරංග නොමැති අවස්ථාවකදී දඟ පන්දු යවන්නන් සමගින් පිටියට යාම සෑහෙන අභියෝගයකි.
අනෙක් අතට පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී දඟ පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම පුරවනවාට වඩා, මේ දිනවල පවතින සීතල කාලගුණික තත්ත්වයන් යටතේ වේග පන්දු යවන්නන් තිදෙනකුට කණ්ඩායමේ ඉඩ තිබේ. දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ දෙදෙනාම කණ්ඩායමේ සිටින බැවින් ප්‍රමෝද් මධුෂාන්ට අවස්ථාවක් ලැබීමේ වැඩි ඉඩක් තිබේ.
කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ සිටින බැවින්, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනාද සමග දඟ පන්දු යවන්නන් වෙත වැඩි විශ්වාසයක් තැබෙනු ඇත.
වෙල්ලාලගේ පිතිකරුවකු ලෙසින් සැලකෙන්නේ නම්, අතිරේක වේග පන්දු යවන්නකු හෝ අතිරේක පිතිකරුවකු කණ්ඩායමට එකතුකර ගැනීමේ අවස්ථාවත් නැතුවා නොවේ. මෙම තත්ත්වය අනුව චරිත් අසලංක පිළිබඳවත් අවධානය යොමුවී ඇත්තේ ඔහුට ද`ඟපන්දු යැවීමේ හැකියාවත් ඇති බැවිනි.
ඊළඟ ප්‍රශ්නය වන්නේ පැතුම් නිස්සංකගේ සහායක ආරම්භක පිතිකරුවා කවුරුන්ද යන්නයි. වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ සිටියදීම, සිය අවසන් විස්සයි-20 තරග 5 දී කමිල් මිෂාරගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 16, 36, 0, 14 ක් සහ 8 ක් වශයෙනි. හෙට තරගයේදීත් කමිල් මිෂාර අසාර්ථක වුවහොත්, කුසල් ජනිත් කණ්ඩායමට තෝරාගත්තේ කුමකට යන ප්‍රශ්නය ඉස්මතු වෙයි.
පන්දු රැකීමේදී නම් කමිල් මිෂාර කුසල් ජනිත් පෙරේරාට වඩා ඉදිරියෙන් සිටින බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශක රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා කියන්නේ ලෝකයේ කිසිම රටක ක්‍රිකට් කණ්ඩායමකට පන්දු රැකීම මත ක්‍රීඩකයන් තෝරා නොගන්නා බවයි.
“පන්දු රැකීම කියන්නේ ක්‍රිකට් පිටියේ තුන්වැනි හැකියාවයි. ඒත් කණ්ඩායමකට තෝරාගන්න නම් ඔහු එක්කෝ පිතිකරුවෙක් වෙන්න ඕනා. නැත්නම් පන්දු යවන්නෙක් වෙන්න ඕනා...”
“ජොන්ටි රෝඩ්ස් වුණත් කණ්ඩායමට තේරුණේ පන්දු රැකීම් නිසා නෙමෙයි. ඔහු පිතිකරුවෙක් වූ නිසා” යයි ද ඊයේ පස්වරුවේදී පල්ලෙකැළේදී පැවැති මාධ්‍ය හමුවට පැමිණි රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා පැවසීය. ඔහුගේ අදහස් දැක්වීම් අනුව නම් හෙට තරගයේදී කමිල් මිෂාරට අවස්ථාවක් ලබාගැනීම අසීරුය.
ඕස්ට්‍රේලියානුවන්ගේ පන්දු යැවීම දුර්වල වී තිබේ. සිම්බාබ්වේ ක්‍රීඩකයන් කඩුලු 2 කට ලකුණු 169 ක් ලබාගැනීමෙන් එය තහවුරු වෙයි. මිචෙල් මාෂ් ආබාධයකට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමට එක්වූ ස්ටීවන් ස්මිත්ට තවමත් ලෝක කුසලාන තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලැබී නැත. එම අනුමැතිය ලැබෙන තුරුම ඔහු පිළිබඳ කිසිවක් කිව නොහැකි නමුත් තරගය ආරම්භ වීමට නියමිතය ඇත්තේ හෙට පස්වරු 7.00 ට වන බැවින් ඊට පෙර ඕනෑම දෙයක් සිදුවිය හැකිය.
ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ්ගේ ආබාධය සුව අතට හැරෙමින් තිබෙන බවක් වාර්තාවන අතර ඇතැම් විට ඔහු හෙට තරගයට ක්‍රීඩා කිරීමට පුළුවන. විශේෂයෙන්ම ඕස්ටේ්‍රලියානුවන් මුහුණ දී සිටින අවදානම් තත්ත්වය හමුවේ මිචෙල් මාෂ් එවන් තීරණයක් ගැනීමට පුළුවන. එහෙත් මිචෙල් මාෂ් කණ්ඩායමට එක්වන්නේ නම් ඕස්ටේ්‍රලියානුවන්ට සිදුවන්නේ ග්ලෙන් මැක්ස්වෙල් හෝ කැමරන් ග්‍රීන් දෙදෙනාගෙන් කෙනකු එළියේ තැබීමටය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.