Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිස් සිල්වර්වුඩ් ජාතික පුහුණුකරු තනතුරට

ක්‍රිස් සිල්වර්වුඩ් ජාතික පුහුණුකරු තනතුරට

editorial - 2022 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පත්කරන ලදි. අප්‍රේල් මස 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවාගේ ධුර කාලය වසර දෙකකි. එය වසර 2024 අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇත.

සිල්වර්වුඩ් මහතාගේ පළමු පැවරුම වන්නේ ලබන (මැයි) මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියයි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරගාවලියක් සහ විස්සයි-20 තරගාවලියක් පැවැත්වේ.

එතැන් සිට දිගහැරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය කාර්යබහුල සමයකි. එය වසර 2023 අවසානය දක්වාම පවතිනු ඇත.

සිල්වර්වුඩ් මහතා වසර 2019 සිටම, එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ නමුත් පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී, ඕස්ට්‍රේලියාවේ පැවැති අළු බඳුන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම ලද පරාජයෙන් පසුව ඔහු තනතුරෙන් නෙරපා හරින ලදි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් මහතාගේ කාලය නිමාවීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තවදුරටත් රැඳී සිටීමට බලාපොරොත්තුව සිටියේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට ප්‍රතිචාර නොදැක්වූයේ ඒ වන විට නැඟී එන කණ්ඩායමක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනත් පුහුණුකරුවකු සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

පසුගිය දෙසැම්බරයේ සිටම ඒ වෙනුවෙන් දැන්වීම් පළකළ අතර ඊට අයැදුම් කළ 40 කට වැඩි අයැදුම්කරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්‍ෂණික කමිටුව සෑහීමකට පත්නොවීය. ජාතික කණ්ඩායමට නිසි පුහුණුකරුවකු සොයාගැනීම ක්‍රිකට් තාක්‍ෂණික කමිටුව ප්‍රධාන 6 දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවකට පැවරී තිබිණ.

කෙසේ වෙතත් පුහුණුකරු සොයාගැනීම එන්න එන්නම ප්‍රමාද වූ බැවින්, පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් රුමේෂ් රත්නායක මහතා, තාවකාළිකව, පත්කරන ලදි.

මේ අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් වූ ග්‍රැහැම් ෆෝඩ් සහ පෝල් ෆාබ්‍රේස් යන මහත්වරුන් දෙදෙනා කැමතිකරවා ගැනීමට අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක කමිටුව උත්සාහ කළේය. එහෙත් දෙවතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වූ ග්‍රැහැම් ෆෝඩ් මහතාත්, වතාවක් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වූ පෝල් ෆාබ්‍රේස් මහතාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කළහ.

(ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ක්‍රිකට් උපදේශක කමිටුව මේ වනවිට බල රහිත වී තිබේ. අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් එහි සාමාජිකයෝ වූහ.)

වෙනත් නෙකළහැකි දෙයක් නොතිබූ බැවින්ද, ප්‍රධාන පුහුණුකරුවකු පත්කරගැනීම ඉතාමත් ඉක්මනින් කළ යුතුවූ බැවින්ද, ඒ සඳහා අයැදුම් කළ අය අතුරින් තෝරාගත් ශ්‍රී ලාංකිකයකු වන නවීඩ් නවාස් මහතා පුහුණුකරු තනතුර සඳහා පත්කරන ලෙස ක්‍රිකට් උපදේශක කමිටුවෙන් නිර්දේශ කරන ලදි. එහෙත් ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊට එකඟ නොවීය.

මේ අතරවාරයේදී නැවත වරක් පුහුණුකරුවන් සොයා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. එංගලන්ත පිලෙන් ඉවත් කරන ලද සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම බාරගැනීමට කැමැත්ත පළකරන්නේ ඉන් අනතුරුවය.

ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ වේග පන්දු යවන්නෙකි. එංගලන්තයේ යෝක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිස් සිල්වර්වුඩ්, එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 ක් සහ එක්දින තරග 7 ක් ක්‍රීඩා කළේය.
 
සිය ක්‍රීඩා දිවිය නිමාවෙන් පසුව පුහුණුකරුවකු වූ සිල්වර්වුඩ් මහතා එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවා වෙමින් එසෙක්ස් ප්‍රාන්තය දෙවැනි පෙළින් පළමු පෙළ කණ්ඩායමක් දක්වා උසස් වීමට අවශ්‍ය මඟ පෙන්වා දුන්නේය. සිල්වර්වුඩ් මහතා වසර 2017 දී බ්‍රිතාන්‍ය අන්තර් ප්‍රාන්ත ශූරතාව එසෙක්ස් ප්‍රාන්තයට දිනාගැනීමට ගුරුහරුකම් දුන් අතර එසෙක්ස් ප්‍රාන්තය මෙම ශුරතාව දිනාගත්තේ වසර 25 කට පසුවය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එක්වීමට ලැබීම මට ඉතාමත් සතුටක්. ශ්‍රී ලංකාවට පැමිණ වැඩ ආරම්භ කරන කම් මට ඉවසිල්ලක් නෑ” යයි සිල්වර්වුඩ් මහතා පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සටහන් වේ.

සිල්වර්වුඩ් මහතා, වසර 2019 දී එංගලන්තය ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී එවකට එංගලන්ත පුහුණුකරුවා වූ ට්‍රෙවර් බේලිස් මහතා යටතේ කටයුතු කරමින් සිටියේය. ඔහු වසර 10 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ 8 වැනි පුහුණුකරුවා වෙයි.

දශක තුනකට ආසන්න කාලයක් පුරා, 1992 දී දුලිප් මෙන්ඩිස් මහතා පුහුණුකරුවා වීමෙන් පසුව, ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් ශ්‍රී ලාංකිකයන් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු අකමැත්ත පළකරති. එයට හේතුව ලෙසින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ ඇතුළු වෙනත් බලවේගයන්හි බලපෑමෙන් පුහුණුකරුවා නිදහස් කළ යුතු බවයි. 1995 දී ඩැව්නෙල් වට්මෝර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවට පැමිණෙන බොහොමයක් විදේශීය පුහුණුකරුවන්ට නියමිත කාලය නිමාවීමට පෙරම සිය තනතුර අතහැර යාමට සිදුවූ අවස්ථා බොහෝය. ඇතැම් විට ක්‍රීඩකයන් සමග ඇතිකරගන්නා ගැටුම් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ අස්ථාවර ප්‍රතිපත්ති ද ඊට බොහෝ සෙයින් බලපෑ කාරණා විය. වසර 2017 දී එවකට සිටි පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා නොකියාම යන්න ගියේ එවන් කරුණක් හේතුවෙනි.

ඉන් අනතුරුව මාස කිහිපයක්ම නික් පොතාස් මහතා පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීමට වෘත්තීය මට්ටමේ බොහෝ පුහුණුකරුවන් අකමැතිව සිටියදී, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හා සාකච්ඡා කිරීමෙන් පසුව, චන්දික හතුරුසිංහ මහතා, ප්‍රධාන පුහුණුකරු තනතුරට, බංග්ලාදේශයෙන් ගෙන්වා ගන්නා ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වීමෙන් පසු, හතුරුසිංහ මහතාව ද පුහුණුකරු තනතුරෙන් නෙරපා දමන ලද හෙයින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණයට පවා ගියේය.

 


අදහස් (0)

ක්‍රිස් සිල්වර්වුඩ් ජාතික පුහුණුකරු තනතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.