Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමේ

ක්‍රිකට් සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමේ

editorial - 2023 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් රජයේ මුදල් නොවන බවත්, ඒවා පෞද්ගලික ආයතනයකට, එහි අන්තර්ජාතික මව් සමාගමෙන් ලැබෙන මුදල් සේ සැලකිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියයි. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) කැඳවන ලද විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී ශම්මි සිල්වා මහතා ඒ බව අවධාරණය කර සිටියේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 35 ඉක්මවූ මූල්‍යය ලාභයක් අත්කරගත් බවත්, එය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ වත්මන් මූල්‍ය තත්ත්වයටත් වඩා ස්ථාවර තත්ත්වයක් බවත් ශම්මි සිල්වා මහතා පැවසීය. 

“මේ සල්ලී... මේවා ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. මේ අයි.සී.සී. (අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන්) අපිට දෙන සල්ලි. මේක පුද්ගලික කොම්පැණියක් වගේ......”

“අපි කෝප් (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) එකට යන්නෙත් මේක විගණකාධිපති විගණනය කරන හින්දා... ඒත් ඔක්කොම හිතන් ඉන්නේ මේක මහජනයාගේ මුදල් කියලා”

“මේ සල්ලි අයිති අපේ සාමාජිකයන්ට” යයි ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අයිතිවාකම් පිළිබඳ අවධාරණය කරමින් පැවසීය. 
පසුගියදා ජූනි 17 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේදී, වසර 2022 සඳහා වූ විගණනය කරන ලද මූල්‍ය වාර්තාව, එහි සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කරන ලදි. ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 17.5 ක් හෙවත් රුපියල් කෝටි 1750 කි. ශුද්ධ අතිරික්තය රුපියල් බිලියන 6.3 ක් හෙවත් රුපියල් කෝටි 630 ක් වන අතර එය පසුගිය වසරේ ආදායමට වඩා 120% ක වැඩිවීමකි. 

මෙම රුපියල් බිලියන 6.3 ක ශුද්ධ අතිරික්තය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පුරාම ලද විශාලතම වාර්ෂික ලාභය ලෙසින් වාර්තා වෙයි. 
“අපි ඔක්කොම අවුරුදු 25 ක විතර කාලයක් මේ ක්‍රීඩාවේ හිටියා. ඉතිහාසයේ පළමු වැනි වතාවට තමයි මෙච්චර ලාභයක් අපිට හම්බ වුණේ” යයි ශම්මි සිල්වා මහතා කීවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ජයන්ත ධර්මදාස (උප සභාපති) සහ මොහාන් ද සිල්වා (ලේකම්) දෙදෙනාම දෙපැත්තේ වාඩිවී සිටියදීය. 

“අපට ඩොලර් මිලියන 35 කට වැඩි අතිරික්තයක් අපිට දැන් තියෙනවා. ඒක නවසීලන්ත ක්‍රිකට් ආයතනයට තියෙනවාටත් වඩා වැඩි මුදලක්. මේ අතිරික්තය ඉදිරියේදී තවත් වැඩිවෙනවා.”

“පසුගිය අවුරුදු හතර - පහේ ලොකු සැලැස්මක් දාගෙන, මේවා ඉතුරුකරගෙන ආවා. ඒ අතර තුර අපි සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් රුපියල් බිලියන 1.2 මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා”
මහරගම පිළිකා රෝහලට සහ ළමා රෝහලට රුපියල් බිලියනයකටත් (කෝටි 10) වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බවත්, ඉදිරියේදී කුඩා දරුවන්ගේ හදවත් සැත්කම් වෙනුවෙන් ද කිසියම් පරිත්‍යාගයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 
“ඒ අතරවාරයේදී, අපේ ක්‍රීඩා අමාත්‍යංශයට සල්ලි නෑ කියලා, මිලියන 320 ක් (රුපියල් කෝටි 32 ක්) අපි දීල තියෙනවා. ඒවත් දීලා තමයි ඩොලර් මිලියන 35 ක ලාභයක් පෙන්නුම් කරන්නේ” යයි ද ක්‍රිකට් සභාපතිවරයා පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් විග්‍රහ කරන ලද පරිදි, මෙම ආදායම ප්‍රධාන අංශ හතරකින් ලැබේ. අන්තර්ජාතික තරග (රූපවාහිනී අයිතිවාසිකම් විකිණීම), දේශීය තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් වාර්ෂිකව ලැබෙන දීමනා වලින් මෙම ආදායම් ලැබේ. 

“ඉස්සර අපි රූපවාහිනී අයිතිවාසිකම් වුණත් වික්කේ ගෙඩිය පිටින්. ඒත් දැන් එහෙම නෑ.. අපි එකින් එක වෙන්කරලා, වෙන වෙනම විකුණනවා. ඒක වාසිදායකයි” යයි ද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 

වසර 2022 දෙසැම්බර් 31 වැනිදායින් නිමාවූ මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික විගණන වාර්තාව, ජාතික විගණන ආයතනය විසින් සහතික කර ඇත්තේ “අඩුපාඩු වලින් තොර” විගණන වාර්තාවක් ලෙසින් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අද කොළඹ එස්.එස්.සී. පිටියේදී තහවුරු කළේය. 

මේ අතර 2022 දී ඕස්ටේ්‍රලියාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට විධායක කමිටු සාමාජිකයන් යාම පිළිබඳව විවිධ අංශ ප්‍රශ්න කරන බවත් කී ශම්මි සිල්වා මහතා...

“ලෝක කුසලාන කියන්නේ ලෝක කුසලාන. ලෝක කුසලාන තරගාවලියකට යන්නවත් අපේ විධායක කමිටුවට අයිතියක් නැද්ද? මම අහන්නේ එචචරයි

“අපේ සාමාජිකයන්ගෙන් 200% ක්ම අපිට සහයෝගය ලැබෙනවා”
“අපි හැම ක්‍රීඩා සමාජයකටම දියුණු වෙන්න සල්ලි දීල තියෙනවා. අපි ඒගොල්ලන්ගේ වැඩ කොච්චර කරල දීල තියෙනවද ? හොඳම දේ තමයි අපිත් එක්ක විරුද්ධව ඉන්න කෝල්ට්ස් (ක්‍රීඩා සමාජය) එකටත් මිලියන 70 ක් (රුපියල් කෝටි 7 ක්) දීල තියෙනවා ඒගොල්ලන්ගේ බිල්ඩින් හදාගන්න”
“ඒ ඔක්කොම දීල තමයි අපි මේ ඩොලර් මිලියන 35 ඉතුරු කරල තියෙන්නේ”

දැන් මේකටත් (එස්.එස්.සී. ක්‍රීඩාංගණය) තවත් බිලියන දෙකක් (රුපියල් කෝටි 200 ක් ) විතර යනවා මේ ක්‍රීඩාංගණය අන්තර්ජාතික මට්ටමට ගන්න” යයි ද ශම්මි සිල්වා මහතා පැවසීය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටවල ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානමින් සිටින බවත්, 2024 ජනවාරි මාසයේදී වයස 19 න් පහළ ලෝක කුෂලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බවත් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 
-----------------
ඡායාරූපය - කුෂාන් පතිරාජ


අදහස් (4)

ක්‍රිකට් සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමේ
  • Kumara Tuesday, 25 July 2023 09:55 PM

    පවුලේ තුන් හතර දෙනාගේ පවුලේ බූදලේ නේද? ඔබලා කැමැති විදිහට කරන්නකෝ...

    Reply 0       0

    Anura Nanayakkara Wednesday, 26 July 2023 06:45 PM

    ක්‍රිකට් සල්ලි කාගෙවත් පුද්ගලික බූදලයක් නොවේ. මේ සල්ලි රටේ ක්‍රීඩාව නගා සිටුවීමට ලැබෙන සල්ලි. සාමාජිකයින්ගේ ගැහැණු සමග පිටරට සවාරි ගහන්න නොවේ. ක්‍රිකට් සමාජය විසුරුවා හැර දූෂණය නවත්තමු...

    Reply 0       0

    jayasekara Thursday, 27 July 2023 10:16 AM

    මූණ දැක්කාම කියන්න පුළුවන් කවුද කියලා? අපි නොදන්න චෙස්...!

    Reply 0       0

    sam Thursday, 27 July 2023 12:50 PM

    ක්‍රිකට් සල්ලියි, හොර නඩේටයි හොරාකන්න තියෙන ඒවා නෙවෙයි. ඔබලා පවුල් පිටින් හොරා කාලා ක්‍රිකට් වලපල්ලට යවන්නයි මේ හදන්නේ... ක්‍රිකට් සල්ලි පුද්ගලික බූදලයක්ද? 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.