ක්‍රිකට් ආනාගතයට ස්ථිරසාර ආයෝජන දෙකක්
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍යම මොහොතක, සිව්දින තරග දෙකකට සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දීය යොවුන් කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ව්‍යාපාරික අවශ්‍යතා අනුව, ලෝකය පුරා පැවැත්වෙන විස්සයි-20 ලීග් තරග කෙරේ යොවුන් ක්‍රීඩකයන්ගේ අවධානය යොමුව තියෙද්දී, රටවල් දෙකක් අතර පැවැත්වෙන සිව්දින තරග දෙකක් සහ එක්දින තරගාවලියක් සඳහා යොවුන් ක්‍රීඩකයන්ගේ අවධානය යොමුකරවීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කරනු ලබන ස්ථිරසාර ආයෝජනයකි.
ශ්‍රී ලංකා, ඉන්දියානු සහ ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ද ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ කණ්ඩායම් වෙනුවෙන් කෙරෙන කදිම ආයෝජනයකි. මෙම තුන්කොන් තරගාවලිය ලබන 09 වැනිදා දඹුල්ලේදී ආරම්භ වෙයි.
ඉන්දීය යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තුන්කොන් තරගාවලිය නිමාවී දෙසතියක කාලයකිනි. තවමත් 15 වැනි වියේ පසුවූවද, මේ වන විටත් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා සිටින වෛභාව් සූර්යවංශි ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්ව සිටී. එබැවින් සූර්යවංශි වැනි පිතිකරුවන්ට පන්දු යැවීමෙන් තම තමන්ගේ අනාගතය සූදානම් කරගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් පන්දු යවන්නන්ට ලැබෙන්නේ මහඟු අවස්ථාවකි.
මෙම යොවුන් තරගාවලියේ වඩාත්ම සුවිශේෂී තරග දෙක වන්නේ සිව්දින තරග දෙකයි. 19 න් පහළ වයස් කාණ්ඩයේ වන බැවින් මෙම තරග පළමු පෙළ තරග ලෙසින් හැඳින්විය නොහැකි වූවද, කිසිදු විවාදයකින් තොරවම මෙම යොවුන් සිව්දින තරග දෙකම අනාගත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරහුරු තරග ලෙසින් හැඳින්විය හැකිය.
ඉන්දීය යොවුන් කණ්ඩායම ජූනි මස 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දීය යොවුන් කණ්ඩායමේ තරග කාලසටහන
ජූලි 04 - පළමු එක්දින තරගය සූරියවැවදී
ජූලි 06 - දෙවැනි එක්දින තරගය සූරියවැවදී
ජූලි 09 - තුන්වැනි එක්දින තරගය සූරියවැවදී
ජූලි 13-16 - පළමු සිව්දින තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී
ජූලි 20-23 - දෙවැනි සිව්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී