Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කවාජා - ග්‍රීන් ඉන්දියානුවන්ට තලති
බෝඩර් - ගවස්කාර් කුසලාන

කවාජා - ග්‍රීන් ඉන්දියානුවන්ට තලති

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැමරන් ග්‍රීන් (114) හැරෙන්නට සෙසු සියලුම නම්දැරූ පිතිකරුවන් අසාර්ථක වෙද්දීත්, ඕස්ටේ්‍රලියානු ඉනිමේ බර තනිවම කරට ගත් උස්මන් කවාජා, අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් තම කණ්ඩායම ලකුණු 400 කඩයිමෙන් ඔබ්බට රැගෙන ගියේය. කවාජා (180) සහ කැමරන් ග්‍රීන් දෙදෙනාගේ පිතිහරඹය නිසා අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) ඕස්ටේ්‍රලියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 480 ක් ලබාගත්හ.

අද සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 36 ක් ලබා සිටියහ.

ඕස්ටේ්‍රලියානු ඉනිමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 6 ක් දවාගත් නමුත් පන්දු 422 කට මුහුණ දෙමින් කවාජා ලබාගත් ලකුණු 180 නිසා තරගයේ වාසිය ඕස්ටේ්‍රලියානු පිලට නැඹුරු වී තිබේ. ආරම්භක පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි කවාජා දැවීයන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට 409 ක් විය. කැමරන් ග්‍රීන් සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 208 ක් එක්කළ කවාජා, වමතින් පා දඟ පන්දු යවන අක්ෂර් පතෙල් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

පිටියේ විනිසුරු එය නොදැවීමක් යයි තීන්දු කළද, එය විතීවි වෙත යොමුකළ ඉන්දියානුවෝ කවාජාගේ ඉනිම එතැනින් නතර කරගත්හ. කවාජා සහ ග්‍රීන් දෙදෙනාම දැවී යාමෙන් පසුව, ටොඩ් මර්ෆි (41) සහ නේදන් ලයන් (34) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 70 ක් එක්කරමින් ඉන්දීය පන්දු යවන්නන් මහත් අසහනයට පත්කළහ.

කවාජාගේ ඉනිම ඕස්ට්‍රේලියානු පිතිකරුවකු ඉන්දියාවේදී කළ දීර්ඝතම පිතිහරඹයයි. මීට පෙර දීර්ඝතම ඉනිම වූයේ 1979 දී ග්‍රැහැම් යැලොප් පන්දු 392 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිීමයි.

නිත්‍ය නායක පැට් කමින්ස් නොමැති හෙයින් ස්ටීවන් ස්මිත් ඕස්ටේ්‍රලියානු පිල මෙහෙයවයි. කමින්ස්ගේ මවගේ අභාවය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කළු පැහැ අත් පටි පැළඳ ක්‍රීඩා කරති.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 480 යි
(ට්‍රැවිස් හෙඩ් 32, උස්මන් කවාජා 180, ස්ටීවන් ස්මිත් 38, පීටර් හැන්ඩ්ස්කොම්බ් 17, කැමරන් ග්‍රීන් 114, නේදන් ලයන් 34, ටොඩ් මර්ෆි 41, මොහොමඩ් ශාමි 134/2, රවිචන්ද්‍රන් අශ්වින් 91/6)

ඉන්දියාව - පළමු ඉනිම කිසිවකු නොදැවී 36 යි
(රෝහිත් ෂර්මා නොදැවී 17, ෂුබ්මන් ගිල් නොදැවී 18)


අදහස් (0)

කවාජා - ග්‍රීන් ඉන්දියානුවන්ට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.