Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානුවෝ 5-0 ක් සොයති
අළු බඳුන

ඕස්ටේ‍්‍රලියානුවෝ 5-0 ක් සොයති

editorial - 2022 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානුවෝ ‘අළු බඳුන’ තරගාවලි ඉතිහාසයේදී සිව්වැනි වරටත් 5-0 ක තරගාවලි ජයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිති.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පැමිණීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා එංගලන්තයට එරෙහිව අළු බඳුන තරගාවලියේදී 5-0 ක් ලෙස තරගාවලිය අවසන් කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක නේතන් ලයන් කියයි.

ටෙස්ට් තරග පහකින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස දැනටමත් ජයගෙන සිටින  ඕස්ටේ‍්‍රලියාව, මේ වන විටත් තරගාවලියේ පරාජය කළ නොහැකි ස්ථානයකට පැමිණ සිටී. එහෙත් දැනට පවතින ලෝක ටෙස්ට් ශූරතාවලියේ පදනම අනුව, තමන්ගේ ජයග‍්‍රාහී රටාව දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම ඔවුන් දන්නා බව නේතන් වැඩිදුරටත් පැවසීය.

අළු බඳුන තරගාවලි ඉතිහාසයේදී එංගලන්තය 5-0 ක් ලෙස තෙවරක් පරාජය කිරීමට ඔස්ටේ‍්‍රලියාව මින් පෙර සමත්වී ඇත.

1920-21 තරගාවලියේදීත්, 2006-07 සහ 2013-14 යන කාලවලදී ඕස්ටේ‍්‍රලියාව විසින් 5-0 ක් ලෙස එංගලන්තය පරාජය කරන ලදී. මෙතෙක් එම අවස්ථාව එංගලන්තයට හිමිවී නොමැති නමුත් 1978 - 79 තරගාවලියේදී  පැවැති තරග 6 කින් සමන්විත තරගාවලියකදී 5-1 ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරිමට එංගලන්තය සමත් වූයේය.

”පැහැදිලිවම, අළු බඳුන මට උච්චතම අවස්ථාවයි. නමුත් මම ටෙස්ට් ශූරතා අවසන් තරගයට සහභාගි වීමට කැමතියි. එය ලෝඞ්ස්හිදී හෝ එය ලෝකයේ කොතැනක තිබුනත්... එහි යාමට බොහෝ වැඩ කළ යුතුයි”

පසුගිය වසරේ පැවැති සමාරම්භක ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ඔස්ටේ‍්‍රලියාවට නොහැකි විය. එහිදී නවසීලන්තය විසින් ඉන්දියාව පරදවා කිරුළ දිනාගත් නමුත්, අළු බඳුන තරඟාවලියෙන් පසුව ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් ව සිටී.

මෙතෙක් පැවැති තරග 3 ම පරාජයට පත්වී ඇති එංගලන්තයට ඉතිරි තරග දෙකේදී යම් අභිමානයක් රඳවා ගැනීමට ලොකු වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. මේ වනවිට ඔවුන් ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන්නේය.

කොරෝනා ආසාදිතයකු සමග සමීප සම්බන්ධතාවක් ඇති බව හඳුනා ගැනීම හේතුවෙන් එංගලන්ත පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතාට සිඞ්නි හි පැවැත්වෙන සිව්වන අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට සිදුවිය. නමුත් මේ වනවිට ඔහුටද වයිරයස ආසාදනය වී තිබීම එංගලන්ත කණ්ඩායමට සිඞ්නිහිදී පැවැත්වෙන තරගයට බලපානු ඇත.

සිල්වර්වුඩ් මහතාට අමතරව පන්දු යැවීමේ පුහුණුකරු ජොන් ලූවිස්, දඟ පන්දු යැවීමේ පුහුණුකරු ජීතන් පතෙල් සහ ශක්ති වර්ධන අංශ ප‍්‍රධානී ඩැරන් වේනස් යන තිදෙනාද වයිරසය වැළඳීමෙන් පසු මේ වනවිට හුදෙකලාව සිටිති.

සිල්වර්වුඞ් වෙනුවට පිතිහරඹ පුහුණුකරු ග‍්‍රැහැම් තෝප් මහතා සිඞ්නි හිදි පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගයේදී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ලකුණු අතර සිටින ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවකු වන ට‍්‍රැවිස් හෙඩ්ද මේ වනවිට කොරෝනා වයිරසයේ ගොදුරක් බවට පත්වීම හේතුවෙන් හුදකලා වීමට ලක්වී ඇත. පළමු තරගයේදී අගනා ලකුණු 152 ක් ලබාගැනීමට හෙඞ් සමත්විය.

මිචෙල් මාෂ් සහ ජොෂ් ඉන්ග්ලිස් සහ ආරම්භක පිතිකරු මාකස් හැරිස් සංචිතයට කැඳවීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. නික් මැඩින්සන් අතිරේක ක‍්‍රීඩකයෙකු ලෙස මෙල්බර්න් හි රැඳී සිටිනු ලැබේ.


- 2079

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ 5-0 ක් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.