
(ශානුක අරවින්ද)
අයර්ලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ලැබූ ලකුණු 67 ක පහසු ජයත් සමග ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය අවතීර්ණ වීම සනිටුහන් කළේය. එහිදී වේග පන්දු යවන ක්‍රීඩක නේදන් එලිස් සමග එක්වූ පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා පහසු ජයක් කරා සිය කණ්ඩායම කැඳවාගෙන ගියහ.
මෙම ජයග්‍රහණයත් සමග 3.35 ක ශුද්ධ ලකුණු වේගයකට හිමිකම් කියමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය කරා ඉහළ නැඟීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය. ඒ අනුව එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයත්, දෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයත් දක්වා පහළට ඇදවැටිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ඉනිම ඕවර 16.5 ක් අවසානයේ ලකුණු 115 කට සීමා කිරීම සඳහා මූලිකත්වය ගත් එලිස් සහ සම්පා කඩුලු 4 බැගින් බෙදාගත්හ. ඉනිමේ පළමු පන්දුවට මුහුණදීමෙන් අනතුරුව ලකුණක් කරා දිවයෑමේදී කලවේ ආබාධයකට ලක්වූ නායක පෝල් ස්ටර්ලින්, ඉනිම නිමාවන තෙක්ම යළිත් පන්දුවට පහරදීම සඳහා නොපැමිණියේය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ එලිස් නිලකුණු ඕවරක්ද සමග ඕවර 3.5 ක් යවමින් එහිදී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 12 කට සීමා කළේය. අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා එලිස්ට අනගි සහායක් දුන් සම්පා ලකුණු 23 කට දවාගත් කඩුලු අතරේ අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වූ ජෝජ් ඩොක්‍රල් සහ ලෝකන් ටකර්ද වූහ.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී අයර්ලන්තයට යම් බලාපොරොත්තුවක් ගෙන ආ ජෝජ් ඩොක්‍රල් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය. කෙසේ වුවත් සම්පාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉන්ග්ලිෂ්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ඩ්‍රෙක්‍රල් දැවී යෑමත් සමග අයර්ලන්ත කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබාගැනීමට සමත් වූහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ මාකස් ස්ටොයිනිස් පන්දු 29 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ආරම්භක පිතිකරු ජොෂ් ඉන්ග්ලිෂ් සහ මැතිව් රේන්ෂෝ ලකුණු 37 බැගින් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 17 කට මුහුණදුන් ඉන්ග්ලිෂ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින්ද, පන්දු 33 කදී වාර්තා වූ රේන්ෂෝගේ ඉනිම හතරේ පහර 2 කින්ද සමන්විත විය. ලකුණු 6 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවීම හේතුවෙන් නායක ට්‍රැවීස් හෙඩ්ගේ ඉනිම නිමාවට පත්විය. මාක් අඩෙයර්ගේ පන්දුවක් හමුවේ ජෝජ් ඩොක්‍රල් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට කැමරන් ග්‍රීන් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක් ලබා සිටියේය.
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 182
(ජොෂ් ඉන්ග්ලිෂ් 37, කැමරන් ග්‍රීන් 21, මැතිව් රේන්‍ෂෝ 37, මාකස් ස්ටොයිනිස් 45, මාක් අඩෙයර් 44/2)
අයර්ලන්තය - ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 115
(ලෝකන් ටකර් 24, ජෝජ් ඩොක්‍රල් 41, නේතන් එලිස් 12/4, ඇඩම් සම්පා 23/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.