Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ නවසීලන්තය පරදවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඕස්ට්‍රේලියානුවෝ නවසීලන්තය පරදවති

editorial - 2023 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ධරම්ශාලාහි හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 389 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 383 ක් පමණි.

තරගය ජයගැනීමට මිචෙල් ස්ටාක් යැවූ අවසන් ඕවරයේදී නවසීලන්තයට ලකුණු 19 ක් රැස්කිරීමට සිදුවූ නමුත් කඩුල්ලක් දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. ලකුණු 58 ක් ලබා සිටි ජේම්ස් නීෂම් දුවද්දී දැවීයෑමකට ලක්වීමත් සමග නවසීලන්තය ජයග්‍රහණය වෙනුවෙන් තබා සිටි අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගියේය. පන්දු 39 කට මුහුණදුන් නීෂම් සිය 7 වැනි අර්ධ ශතකය ලබාගත්තේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 ක් සමගිනි.

රචින් රවින්ද්‍රා පන්දු 89 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 116 ක් රැස්කළ අතර ඩැරිල් මිචෙල් (54) සමග එක්ව තෙවැනි කඩුල්ල‍ වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කෙසේ වුවත් එය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් ප්‍රමාණවත් නොවීය. පන්දු 51 කදී වාර්තා වූ මිචෙල්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේලියානුවෝ ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 388 ක් ලබාගත්හ. එහිදී ඕස්ට්‍රේලියාවට වේගවත් ආරම්භයක් ලබාදුන් ඩේවිඩ් වෝනර් (81) සහ ට්‍රැවීස් හෙඩ් (109) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 117 කදී ලකුණු 175 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

පන්දු 67 කට මුහුණ දෙමින් සිය 15 වැනි එක්දින ශතකය ලබාගත් හෙඩ් හයේ පහර 7 කින් සහ හතරේ පහර 10 කින් එය සැරසුවේය. පන්දු 65 කදී ලාබාගත් වෝනර්ගේ 32 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී ජොෂ් ඉංග්ලිෂ් (38) සමග එක්වූ නායක පැට් කමින්ස් (37), 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව ආසන්නයටම ගෙන ගියේය. පන්දු 28 කදී වාර්තා වූ ඉංග්ලිෂ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද, පන්දු 14 කදී වාර්තා වූ කමින්ස්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක්ද ඇතුළත් විය.

 

ඕස්ට්‍රේලියාව - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 388
(ඩේවිඩ් වොන්ර් 81, ට්‍රැවීස් හෙඩ් 109, මිචෙල් මාෂ් 36, ස්ටීවන් ස්මිත් 18, මානස් ලැබුෂේන් 18, ග්ලේන් මැක්ස්වෙල් 41, ජොෂ් ඉංග්ලිෂ් 38, පැට් කමින්ස් 37, ‍ග්ලේන් පිලිප්ස් 37/3, ට්‍රෙන්ට් බෝල්ට් 77/3, මිචෙල් සෑන්ට්නර් 80/2)

නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 383
(ඩෙවොන් කොන්‍වේ 28, විල් යං 32, රචින් රවින්ද්‍රා 116, ඩැරිල් මිචෙල් 54, ටොම් ලේතම් ‍21, ජේම්ස් නීෂම් 58, මිචෙල් සෑන්ට්නර් 17, ඇඩම් සම්පා 74/3, පැට් කමින්ස් 66/2, ජොෂ් හෙසල්වුඩ් 70/2)


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ නවසීලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.