Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවන්ගේ තෑගි මුදල් ශ්‍රී ලංකාවේ දරුවන්ට

ඕස්ට්‍රේලියානුවන්ගේ තෑගි මුදල් ශ්‍රී ලංකාවේ දරුවන්ට

editorial - 2022 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා, ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඇතුළු ක්‍රීඩකයෝ, පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා සංචාරයේදී ලැබුණු ත්‍යාග මුදල් පරිත්‍යාග කර ඇත. යුනිසෙෆ් ආයතනයේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා වන, ටෙස්ට් නායක, පැට් කමින්ස් සහ සීමිත ඕවර නායකයා වන ඒරන් ෆින්ච් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර තිබේ.

විස්සයි-20, එක්දින අන්තර්ජාතික සහ ටෙස්ට් මාදිලියේ තරගාවලි තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානුවන් මුලින්ම දුටුවේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් සහ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙමින් සිටි පැය ගණන් දිගු වූ විදුලිය කැපීම්ය. ජනතාව පෙළෙමින් සිටි පීඩනය කොතෙක්ද යත් දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා රැස්වූ දහස් ගණන් සාමකාමී විරෝධතාකරුවෝ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වීමට බල කරමින් පෙළපාලි ගියහ.

ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර මිල 80% කින් ඉහළ ගොස් ඇති අතර ජනගහණයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ආහාර පරිභෝජනය අඩු කර ඇත.

ඉන්ධන හිඟය හේතුවෙන් ගුරුවරුන්ට සහ සිසුන්ට තවමත් ගමන් බිමන් සීමා කිරීමට සිදුව තිබේ. එබැවින් අධ්‍යාපනය අතරමග ඇණහිට ඇත. ඖෂධ සහ ඉන්ධන පෝලිම් එදිනෙදා ජීවිතයේ කොටසක් වී ඇති බැවින් සෞඛ්‍ය සේවාවන් කරා ප්‍රවේශ වීම වඩ වඩාත් දුෂ්කර වී තිබේ. දුෂ්කර පෙදෙස් වල පිරිසිදු පානීය ජලය හිඟ වී ඇති අතර අද වන විටත් පාසල් සතියේ දින තුනකට සීමා වී තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පරිත්‍යාග කරන ලද මුදල්, අවශ්‍යතා සහිත ශ්‍රී ලාංකික දරුවන් මිලියන 1.7 දෙනකුගේ පෝෂණය, සෞඛ්‍ය සේවා, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා යොදාගැනීමට යුනිසෙෆ් වැඩසටහන් වෙත යොමු කෙරේ.

“ඇතිවෙලා තිබුණ තත්ත්වය ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට කෙතරම් බලපාලා තිබුණාද කියන එක අපි ඇස්දෙකින්ම දැක්කා” යයි කමින්ස් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පැවසීය.

“සිදුවෙමින් පැවැති දේ දැක්කාම, දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා සඳහා අපගේ ත්‍යාග මුදල පරිත්‍යාග කිරීම පහසු තීරණයක් වුණා. යුනිසෙෆ් ආයතනය වසර 50 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ තියෙන නිසා ඒක පහසුවක්” යයිද යුනිසෙෆ් ආයතනයේ ඕස්ට්‍රේලියානු නියෝජිතයා වන ටෙස්ට් නායක පැට් කමින්ස් පැවසීය.

සීමිත ඕවර කණ්ඩායම් නායක ඒරන් ෆින්ච් පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සීමිත ඕවර තරගාවලියේදී තමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබූ බවත්, මෙම සංචාරය නිසා “ඔවුන්ගේ (ශ්‍රී ලාංකිකයන්ගේ) චිත්තාවේග යම් තරමකට හෝ ඉහළ නැංවුණා” යයි තමන් බලාපොරොත්තු වන බවයි.

ක්‍රිකට් පිටියට ඔබ්බෙන් තිබූ සමාජයීය අවශ්‍යතා වෙනුවෙන් උදව් උපකාර කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේදී සිදුවූ කොරෝනා වසංගතයේ දරුණු පැතිරීමට මුහුණ දීම සඳහා ඉන්දියානුවන්ට අවශ්‍ය වූ ඔක්සිජන් සපයා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයද එක්ව ඩොලර් 50,000 ක මුදලක් ඉන්දියාවට පරිත්‍යාග කර තිබිණ. ඉන්දීය ප්‍රිමියර් ලීගය කල් දැමීමට හේතු වූයේත් මෙම කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙනි.
 
මහත් ආර්ථික අර්බුද මැද කෙරුණු ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ “ක්‍රිකට් පමණක් නොවේ” යයි කමින්ස් පවසයි.

”පසුගිය වසරේදී ඉන්දියානුවන් මුහුණ දුන් කොවිඩ්-19 ‘ඩෙල්ටා’ ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේදී ඉන්දියාවට උපකාර කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඉදිරිපත් වුණා. ඒ වගේම වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට උපකාර කිරීම සඳහාත් නොමසුරුව ඉදිරිපත්වීම ගැන අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා,”  යයි යුනිසෙෆ් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ස්ටුවර්ට් මහතා පැවසීය.

“ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් පිටියෙන් එපිටට ගිය ශක්තිමත් බැඳීමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පවුල්වල දිගුකාලීන යහපැවැත්මට සහාය වීම සඳහා මෙම පරිත්‍යාගය පිළිගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යයි ද ස්ටුවර්ට් මහතා පැවසීය.

ගෙවී ගිය ජූනි සහ ජූලි මාසවලදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේ වසර 6 කට පසුවය. එහිදී පැවැති විස්සයි-20 තරඟාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-2 ක ජයක් අත්කරගත් අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සම වූයේය.

- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවන්ගේ තෑගි මුදල් ශ්‍රී ලංකාවේ දරුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.