Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සියලුම අවාසිදායක තත්ත්වයන් හමුවේ නොසැලී සිටීමේ දැඩි ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කළ බෙත් මූනි (109) සහ අලානා කිංග් (නොදැවී 51) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පාකිස්තානු කාන්තාවන් පරාජය කරමින් ලකුණු 107 ක ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු 7 ක් ලකුණු 76 කට බිඳ වැටිණ. එහෙත් ඉනිමේ අවසන් කොටසේදී පාකිස්තානු ක්‍රීඩිකාවන් දැඩි සේ වෙහෙසට පත්වූ අකාරයක් පෙන්නුම් කළහ. එයින් අනගි ප්‍රයෝජන ගත් මූනි සහ අලානා කිංග් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමින් 221 ක් දක්වා ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ලකුණු 222 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු කාන්තාවන්ට ඕවර 36.3 ක් අවසන ලබාගත හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
අතිශය අසීරු තත්ත්වයන් යටතේ පුහුණුවීම් කරමින් තමන් ලද පන්නරය මේ යයි කදිමට ප්‍රදර්ශනය කළ බෙත් මූනිගේ පන්දු 114 ක ඉනිම හතරේ පහර 11 කින් සමන්විත විය. සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කැඳවාගෙන ගිය බෙත් මූනි අවසන් පන්දුවේදී දැවී ගිය නමුත් ඒ වන විටත් ඇය පාකිස්තානු ක්‍රීඩිකාවන්ට කළ තිබූ හානිය අති මහත් විය.
මූනිගෙන් පසුව ආ පිතිකාරිණියන්ගෙන් ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු ලබාගත්තේ කිම් ගාත් (11) සහ අලානා කිං (නොදැවී 51) පමණි.
අවසන් ඕවරය ආරම්භ වන විටත් අලානා කිං සිටියේ සිය අර්ධ ශතකයට ලකුණු 12 ක් ඈතිනි. අවසන් ඕවරයේදී මුහුණ දුන් පළමු පන්දු දෙකටම හයේ පහර දෙකකින් සංග්‍රහ කළ අලානා සිය මංගල එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළාය.
ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව පසෙක තියා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පාකිස්තානු ක්‍රීඩිකාවෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පිතිකාරිණියන් හත් දෙනාම ලකුණු 76 ක් ඇතුළතදී දවාගත්හ. එහෙත් ඕවර 22 කදී, ලකුණු 76 කට කඩුලු 7 ක් දවාගැනීමේ වාසිය තමන් වෙත රඳවා ගැනීමට පාකිස්තානු ක්‍රීඩිකාවන් අසමත් වූයේ ඔවුන් වෙහෙසට පත්වීම හේතුවෙනි. ඇරත් තවත් එක දඟ පන්දු යවන්නියක් පාකිස්තානු පිලේ සිටියා නම් කතාන්දරය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට තිබිණ.
මන්දගාමී ප්‍රේමදාස තණතීරුවේ වැඩිපුර කාලයක් ගුවනේ පා කරමින් පන්දු යැවූ රමීන් ශමීම් (29/2) සහ නශ්රා සන්දු (37/3) දෙදෙනා තම ඕවර 20 ලකුණු 66 කට සීමා කරගනිමින් කඩුලු 5 ක් බිම දමාගත්හ. එය ඕස්ට්‍රේලියානු පිතිකාරිණියන්ට මහත් අභියෝගාත්මක කාලයක් වූ අතර තමන් වෙත එන පන්දුවට ඉදිරි පාදයේ පහර දෙනවාද, නැතහොත් පසුපාදයේ සිට පහර දෙනවාද යන දෙගිඩියාවට ඔව්හු මුහුණ දුන්හ.
40 වැනි ඕවරයෙන් පසුව වමතින් දඟ පන්දු යවන්නී සාදියා ඉක්බාල් යැවූ ඕවර 3 න්ම අලානා සහ මූනි ලබාගත්තේ ලකුණු 9 කි. ඉතිරි ඕවර 7 යැවූ වේග පන්දු යවන්නියන් වන ෆාතිමා සානා සහ ඩයනා බෙග් දෙදෙනාගෙන් ඕස්ටේ්‍රලියානු පිතිකාරිණියෝ දෙන්නා ලකුණු 74 ක් උදුරා ගත්හ.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට මඟ වැරදී ගියේ ඇලිසා හීලිගේ අනපේක්‍ෂිත දැවී යාමෙනි. ඇලිසා මිඩ් විකට් කලාපයට තල්ලු කළ පන්දුව ඩයනා බෙග් වෙත ගියේ පහසු උඩපන්දුවක් ලෙසිනි. ඒ සමගින්ම වාගේ පෝබී ලිච්ෆීල්ඩ් ගැසූ පහරකින් එකතැන ඉහළ ගිය පන්දුව, පන්දු යැවූ ෆාතිමා සානා විසින්ම රැකගන්නා ලදි. එතැන් සිට ලකුණු 46 ක් ඇතුළත තවත් පිතිකාරිණියෝ පස් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.
තම සහාය පිතිකාරිණියන් එකා පසුපස එකා දැවී යද්දී බෙත් මූනි ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී තම කඩුල්ල රැකගත්තාය. පාකිස්තානු ක්‍රීඩිකාවන් වෙහෙසට පත්වීමෙන් පසුව මූනි තම ඉවස්ීමෙන් උපරිම ප්‍රයෝජන ගත්තාය.
ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 221 යි
(ඇලිසා හීලි 20, පෝබී ලිච්ෆීල්ඩ් 10, බෙත් මූනි 109, අලානා කිංග් නොදැවී 51, කිම් ගාත් 11, ෆාතිසා සානා 49/2, රමීන් ශමීම් 29/2, නශ්රා සන්දු 37/3)
පාකිස්තානු කාන්තාවෝ - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 114 යි
(සිද්රා අමීන් 35, ෆාතිමා සානා 11, රමීන් ශමීම් 15, නශ්රා සන්දු 11, කිම් ගාත් 14/3, මේගන් ෂූට් 25/2, ඇනබෙල් සදර්ලන්ඩ් 15/2)
- 213
ඡායාරූප - අයි.සී.සී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.