Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු - පාකිස්තානු පිතිකරුවන් අතර සටනක්

ඕස්ට්‍රේලියානු - පාකිස්තානු පිතිකරුවන් අතර සටනක්

editorial - 2021 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‍(ශානුක අරවින්ද අබුඩාබි සිට..)

පාකිස්තානයේ අපරාජිත බව ඕස්ට්‍රේලියාව හමුවේ බිඳවැටෙයිද, නැද්ද යන්න තීරණය වන මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (11 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය. මේ වන විට කණ්ඩායම් දෙකම විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී එකිනෙකාට එරෙහිව තරග වැදුණු අවස්ථා 6 න් 3 බැගින් ජය ලබා සම තත්ත්වයේ පසුවෙති.

සුපිරි 12 දෙනාගේ වටයේදී සහභාගි වූ තරගවලදී ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ඝනිස්ථානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත් විය. 2009 ලෝක ශූරයන් මෙන්ම 2007 අනු ශූරයන්ද වන පාකිස්තානය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පස්වැනි අවස්ථාව මෙයයි.

මින් පෙර සහභාගි වූ අවසන් පූර්ව තරග 4 න් 2 කදී නවසීලන්තය (2007) සහ දකුණු අප්‍රිකාව (2009) පරාජය කළ පාකිස්තානය, සෙසු තරග දෙකේදී ඕස්ට්‍රේලියාව (2010) සහ ශ්‍රී ලංකාව (2012) හමුවේ පරාජයට පත් විය.

 සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ ඕස්ට්‍රේලියාව, එහිදී එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. 2010 අනු ශූරයන් වන ඕස්ට්‍රේලියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි සිවුවැනි අවස්ථාව මෙයයි.  මින් පෙර සහභාගි වූ අවසන් පූර්ව තරග 3 න් ‍2 කදී ඉන්දියාව (2007) සහ බටහිර ඉන්දීය කොදෙව් පිල (2012) හමුවේ පරාජයට පත්වූ ඕස්ට්‍රේලියාවට ජයගත හැකි වූයේ 2010 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය පමණි.  

 පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා විස්සයි-20 ‍තරග 23 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 13 කදී ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට පාකිස්තානය සමත් වී තිබේ. තරග 9 කදී පාකිස්තානය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වී ඇත. ඊට සුපිරි ඕවරයකදී පාකිස්තානය ලැබූ ජයක්ද ඇතුළත් විය. එක් තරගයක් පමණක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරගවැදී ඇත්තේ මීට වසර 2 කට පෙරය. 2019 වසරේ නොවැම්බර් මස 8 වැනිදා පර්ත්හිදී පැවැති එම තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වී තිබේ.

 සුපිරි 12 දෙනාගේ වටය පුරා කණ්ඩායම් දෙකේම මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටි බැවින් මැද පෙළ පිතිකරුවන්ට වැඩි යමක් කිරීම සඳහා අවස්ථාවක් නොලැබිණ. එහෙත් ‍පාකිස්තානය අවසන් වටර සහභාගි වූ තරග‍යේදී ස්කොට්ලන්තයට එරෙහිව පන්දු 18 කදී ලකුණු 54 ක් රැස්කිරීමට ෂෙයිබ් මලික් සමත් විය. ඉකුත් මාසයේදී පැවැති අයි.පී.එල්. තරගාවලිය පුරා ලකුණු අතර සිටි ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ද සිය සුපුරුදු තරග රටාවට අවතීර්ණ වීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියි. එබැවින් මෙම තරගයේදී කණ්ඩායමේ පිතිකරුවන් අතර කරට කර සටනක් දැක බලාගත හැකිය.

කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශය කෙරෙහි අවධානය යොමුකරන විට ඕසට්‍රේලියාවේ පා දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා තරගවලිය තුළ කැපී පෙනෙන යමක් කිරීමට සමත්ව සිටියි. එහෙත් පාකිස්තාන පා දඟ පන්දු යවන්නා වන ශදාබ් ඛන් ඊට ගව් ගණනක් පසුපසින් සිටියි. වේග පන්දු යවන්නන් ගත් කළ කණ්ඩායම් දෙකම සම ශක්තීන්ගෙන් සමන්විත වන අතර පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් (කඩුලු 8), ශහීන් අෆ්රිඩි (6) සහ හසන් අලී (5) ද, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් හෙසල්වුඩ් (8), මිචෙල් ස්ටාක් (7) සහ පැට් කමින්ස් (4) ද පන්දුවෙන් දස්කම් දක්වා සිටිති.

පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තරග 5 කදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 264 ක් රැස්කරමින් සුපිරි 12 දෙනාගේ වටය අවසානයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙ‍රමුණේ පසුවිය. පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් අර්ධ ශතක 2 ක් සමග ලකුණු 214 ක් ලබා එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේද, ඕස්ටේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරග 5 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 187 ක් එහි 7 වැනි ස්ථානයේ රැදී සිටියහ. ඕස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා තරග 5 කදී කඩුලු 11 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානයේ හාරිස් රවුෆ් තරග 5 කදී කඩුලු 8 ක් ‍දවාගනිමින් එම ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ රැදී සිටියි.


ඕස්ට්‍රේලියානු සංචිතය
එරන් ෆින්ච් (නායක), පැට් කමින්ස්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හෙස්ලවුඩ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා සහ මිචෙල්ස් ස්වෙප්සන්

පාකිස්තානු සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික්, අසීෆ් අලී, ඉමාඩ් වසීම්, ශදාබ් ඛාන්, හසන් අලී, හාරිස් රවුෆ්, ශහීන් අෆ්රිඩි, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, හයිඩර් අලී සහ සර්ෆරාස් අහමඩ්


අදහස් (0)

ඕස්ට්‍රේලියානු - පාකිස්තානු පිතිකරුවන් අතර සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.