Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් සෙරීනාත් ඉවත්වෙයි

ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් සෙරීනාත් ඉවත්වෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
සත් වතාවක්ම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස්  ශූරතාව දිනූ අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා අවසන් මොහොතේදී ඉන් ඉවත්වීමට තීරණය කළාය. මෙවර තරගාවලියට එක්වන බව මුලින් ප්‍රකාශ කළත්  පසුව ඇය සිය තීරණය වෙනස් කර තිබේ.
 
පසුගිය වසරේදිත් ශූරතාව දිනූ 36 හැවිරිදි සෙරීනා ලබන 15 වැනිදා වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය ලෙස ඇරැඹෙන මේ තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළේ ශාරිරික යෝග්‍යතාව ගැටලුවක් වනු ඇතැයි යන නිගමනය නිසාය. ඇය මව් පදවිය ලබා තවමත් ගතවී ඇත්තේ මාස 4 ක් පමණි. 
 
පසුගිය සැප්තැම්බරයේ දී සිඟිති දියණියකට උපත දුන් සෙරීනා මෙවර මෙල්බර්න් නුවරට පැමිණීමට බලාපොරොත්තු වූයේ පසුගිය වසරේ දිනාගත් කුසලානය රැක ගැනීමේ අරමුණිනි. එමෙන්ම ඇය දරු ප්‍රසූතියෙන් පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම්  ටෙනිස් පිටියට පා තැබීමට නියමිතව සිටියේත් මේ තරගාවලියෙනි.
 
මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23 ක්ම දිනා වාර්තා පිට වාර්තා තැබූ සෙරීනා ලෝක ටෙනිස් පිටියේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ  මාගරට් කෝට් දිනාගත් ශූරතා 24 සම කිරීමට උනන්දුවෙන්  පසුවූවාය. එහෙත් තම ශාරිරික යෝග්‍යතාව ගැන සිතා ඇය තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයට මුල් වූයේ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැති ප්‍රදර්ශනාත්මක තරගයකි. එම තරගයේදී ඇය ප්‍රංශ විවෘත ටෙනිස් ශූරිය වන ජෙලීනා ඔස්ටැන්පෙන්කෝ හමුවේ පරාජයට වූවාය.
 
‘ මගේ ශාරීරික යෝග්‍යතාව මං හොඳයි කියලා හිතන මට්ටමට තාම ඇවිත් නෑ වගේ. ‘  තරගයෙන් පසුව වැඩිපුර ඒ ගැන අවධානය යොමු කළ සෙරීනා කීවාය. 
 
‘අබුඩාබි තරගයෙන් පස්සේ මට අවබෝධ වුණා කළින් වගේ දස්කම් පෙන්වන්න මට තවත් කාලයක් අවශ්‍යයි කියලා.‘
 
ඒකයි මම ඕස්ට්‍රේලියානු තරග බිමට නොයන්න තීරණය කළේ. ඒත් මගේ පුහුණුකරු සහ කණ්ඩායම නම් කිව්වේ ඔයා යන්නම හිටපු නිසා ගිහිල්ලා නිකං සෙල්ලම් කරලා එන්න කියලයි. ‘
 
‘මට එහෙම කරන්න පුළුවනි. ඒත් ඇයි මම එහෙම නිකමට සෙල්ලම් කරන්නේ. මට ඕනා කරන්නේ ඊට වඩා යමක් කරන්නයි. ඒ නිසා මට තව කාලයක් අවශ්‍යයි ආපහු පුරුදු දස්කම්වලට එන්න.‘  යයි සෙරීනා කීවාය.
 
සෙරීනා විලියම්ස් පසුගිය වසරේ ජනවාරියේ දී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත්තේ අවසන් මහා තරගයෙන් ඇයගේම වැඩිමල් සොයුරිය වීනස් පරාජය කරමිනි. ඊට මාස කිහිපයකට පසු වීනස් කියා සිටියේ තම සොයුරිය ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනන මොහොතේදිත් මාස දෙකක ගැබිනියක්ව සිටි බවයි. 
 
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරග බිමෙන් සෙරීනා ඉවත් වන පුවත කරළියට එක්වූයේ තවත් සුපිරි ක්‍රීඩකයකු වු මහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේගේ ඉවත්වීමෙන් පැය 24ක් ගතවීමටත් පෙරය. 
 

ඉහළ තලයේ ක්‍රීඩකයන් වන රෆායල් නඩාල්, ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ 6 වතාවක් දිනූ නොවැක් ජොකෝවික්, 2014 ශූරයා ස්ටැන් වර්වින්කා, ස්වෙට්ලානා කුසනොට්සෝවා වැනි ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියෙන් ඉවත්වීම නිසා දැන් එය කාටත් විවෘත තරගාවලියක් බවට පත්වී ඇතැයි විචාරකයෝ කියති.

- 077


අදහස් (0)

ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් සෙරීනාත් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.