Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ වර්ජනයකට සැරසෙති

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ වර්ජනයකට සැරසෙති

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසර අගදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත අළු බඳුන තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ වර්ජනයකට මුහුණ නොදීමට නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන විරසකයට ඉක්මන් විසඳුමක් සොයාගන්නා ලෙස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා ක්‍රීඩකයන්ට දන්වා සිටියේ නව කොන්දේසි මාලාව පිළිනොගන්නේ නම් ජූනි 30 වැනිදායින් පසුව කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩකයන්ට ගෙවීම් නොකරන බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මෙම දඩබ්බර ප්‍රකාශයත් සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන් අතර ප්‍රබලතම ක්‍රීඩකයා වන මිචෙල් ස්ටාක් ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ “ඒක නම් මිනිස්සු සහ ගෑනු අතර නියම අළු බඳුන තරගාවලියක් වේවි” යන්නයි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ හිටපු ක්‍රීඩකයකු වන ෂේන් වොට්සන් ඊට පිළිතුරු දී තිබුණේ “නියම කතාව ස්ටාකි...කිසිම ක්‍රීඩකයෙක් නැතිව ඒක නියම ක්‍රිකට් තරගයක් වේවි” යනුවෙනි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලිස්ටෙයාර් නිකල්සන් මහතා පවසා සිටියේ ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ වර්ජනයකට නොයා මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට බවයි. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන තරගාවලිය ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ වේ.

“ඔවුන්ට විරෝධය ප්‍රකාශ කරන්න අවශ්‍ය නෑ. ඔවුන්ට ඕනෑ කරන්නේ අළු බඳුන තරගාවලියට ක්‍රීඩා කරන්නයි. අපිට දැන් ඕන කරන්නේ මේ වෙනුවෙන් කිසියම් මැදිහත්මක් කරන්නයි. දෙපැත්තටම වාසි සහගත වන විසඳුමක් අපි දුන්නා. ඒත් ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පැය දෙකක ඇතුළතදී ඒක ප්‍රතික්ෂේප කළා” යයිද ඇලිස්ටෙයාර් නිකල්සන් මහතා පවසා තිබිණ.

ක්‍රීඩකයන්ගේ මෙම විරෝධතාවට මූලික හේතුව වී ඇත්තේ මීට වසර 20 කට පෙර අත්සන් කරන ලද අබවෝධතා ගිවිසුමක් අනුව ක්‍රීඩකයන්ට ගෙවනු ලැබූ කිසියම් ප්‍රතිශත දීමනාවක් කපා දැමීම හේතුවෙනි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මෙම හිතුවක්කාර ක්‍රියාව නිසා ක්‍රීඩකයන් ගණනාවක් තමන්ට ඇමතූ බව ඇලිස්ටෙයාර් නිකල්සන් මහතා කියයි.

මේ අතර ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට දොස් පවරන්නේ ක්‍රීඩකයන් අමාරුවේ දැමූ බව කියමිනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු උපනායක ඬේවිඞ් වෝනර් කර ඇත්තේ තදබල ප්‍රකාශයකි.
“මේ ප්‍රශ්නය දිග්ගැස්සුණොත් අළු බඳුන තරගාවලියට ඒ ගොල්ලන්ට කිසිම ක්‍රීඩකයෙක් නැතිවේවි” යයි වෝනර් පවසා තිබිණ.

 

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ වර්ජනයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.