Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔෂිනි - හර්ෂණ රන් පදක්කම් දිනති

ඔෂිනි - හර්ෂණ රන් පදක්කම් දිනති

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද සහ කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත)

අන්තර් ජාලය ඔසසේ පැවැති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී හර්ෂණ තිලකරත්න සහ ඔෂිනි දේවින්ද්‍යා රන් පදක්කම් දිනාගත් අතර සුසල් ද සිල්වා සහ එසන්දි නවන්සා පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්හ.

අවුරුදු 18 න් පහළ (විවෘත) වයස් කාණ්ඩය යටතේ තරග වැදුණ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න, තමන් සහභාගි වූ තරග වට 9 කදී ලකුණු 7 ක් ලබාගනිමින් එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවේය.

හර්ෂන තිලකරත්න හමුවේ අල්ජබරි මොහොමඞ් (පලස්තීනය), රඞ්වාන් මහමුද් (පලස්තීනය), අනීස් මොහොමඞ් (ඉන්දියාව), මෂ්කෙනොව් අලිෂර් (කසකස්තානය), දිංග්‍රා ආදිත්‍ය (ඉන්දියාව) සහ කසායි පර්විස් (ඉරානය) යන ක්‍රීඩකයෝ පරාජය වූහ. බොසාග් සාදේ අලිරේසා (ඉරානය) සහ රන්ජන් ආර්යන් (ඉන්දියාව) සමග පැවැති තරග ජය පරාජයකින් තොරව අවසන් කළ හර්ෂණ, ශ්‍රී ලංකා ක්‍රීඩක සුසල් ද සිල්වාට එරෙහිව පැවැති තරගය පමණක් පරාජයට පත් විය.

මෙම ශූරතාවලියේ අවුරුදු 10 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට අවුරුදු 10 න් පහළ වත්මන් ලෝක ශූරිය වන රත්නපුර ෆර්ගසන් උසස් පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත් වූවාය.
ඇයගේ 2 වැනි තරගය ඉන්දීය ක්‍රීඩිකා ආර්. චාරුදර්ශිනි හමුවේ පරාජයට පත් වූ නමුත් සෙසු සියලුම ක්‍රීඩිකාවන් පරාජය කරමින් ඇය රන් පදක්කමට හිමිකම් කිවාය. එහිදී ඇය බුචර් රිදීමා (ඉන්දියාව), ඒ. අංජන (ඉන්දියාව), රියා බෑන්කර් (ඉන්දියාව), ගුනේෂ් දේසෙයි සයීජා (ඉන්දියාව), ජී.එච්.එස්. සනුල්‍යා (ශ්‍රී ලංකාව), අක්බාරි රෝෂා (ඉරානය), එස් උක්කාලි කෘපා (ඉන්දියාව) සහ ඩොන්ග්‍රේ අන්ෂිකා (ඉන්දියාව) පරාජය කරමින් තරග වට 9 කදී ලකුණු 8 ක් ලබා ගත්තාය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා අවුරුදු 18 න් පහළ (විවෘත) වයස් කාණ්ඩයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ තරග වට 9 කදී ලකුණු 6 ක් ලබාගනිමිනි. සිය දෙවැනි සහ තෙවැනි තරගවලදී රන්ජන් ආර්යන් (ඉන්දියාව) සහ කුසල්වින් ලියනගේ (ශ්‍රී ලංකාව) හමුවේ පරාජයට පත්වූ සුසල්ට රිදී පදක්කම දිනා ගැනීම සඳහා සෙසු සෙසු තරග 7 දී ලකුණු 5 1/2 ක් ලබා ගැනීමට සිදුවිය. එහිදී අල් බුසායිඩි හමුඞ් (ඕමානය), රඞ්වාන් මහමුද් (පලස්තීනය), කලීෆා එසා අල්බලූෂි (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), කසායි පර්විස් (ඉරානය), දිංග්‍රා ආදිත්‍ය (ඉන්දියාව), හර්ෂණ තිලකරත්න (ශ්‍රී ලංකාව) සහ මෂ්කෙනොව් අලිෂර් (කසකතාන්) සමග දක්ෂ ලෙස තරග වැදී ඔහු එම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එසන්දි නවන්සා අවුරුදු 12 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගත්තේ තරග 9 කදී ලකුණු 6 ක් ලබා ගනිමිනි. එහිදී අනුජානා හසන්දි (ශ්‍රී ලංකාව), සචී ජයින් (ඉන්දියාව), රවුඩා එසා අල්සර්කාල් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), සිරින් කල්‍යාණි (ඉන්දියාව), ඊබ්‍රාහිමී රෂ්ති අසල් (ඉරානය) සහ අබේවා අයනා පරාජය කිරීමට නවන්සා සමත් වූවාය. අලෙවි මහිසා (ඉරානය) සමග පැවැති තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගත් ඇය, ඉමානි ඇඩි්‍රනා සහ දවාරි සාරා යන ඉරාන ක්‍රීඩකාවන් හමුවේ පරාජයට පත් වූවාය.

ආසියානු චෙස් සම්මේලනයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ මෙම චෙස් ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 850 ක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, ජෝර්දානය, කසකස්ථානය, කිර්ගිස්තානය, කුවේට්, මාලදිවයින, නේපාලය, ඕමානය, පලස්තීනය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ උස්බෙකිස්ථානය යන රටවල් මෙම තරගාවලියට සහභාගී වූහ.

මෙම ශූරතාවලියේ සෑම වයස් කාණ්ඩයකම ජයග්‍රාහකයන් ජාත්‍යන්තර චෙස් සම්මේලනය සංවිධානය කරන ලෝක යෞවන චෙස් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස 18 න් පහළ විවෘත ශූරතාව දිනූ හර්ෂණ තිලකරත්න සහ වයස 10 න් පහළ බාලකා ශූරතාව දිනූ ඔෂිනි ගුණවර්ධන එළබෙන ලෝක යෞවන චෙස් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගත්හ.

 


අදහස් (0)

ඔෂිනි - හර්ෂණ රන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.