Last Update  :  2024-03-29 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් ගමන ජයග්‍රහණයකින් අවසන් කිරීම බලාපොරොත්තුවයි

ඔලිම්පික් ගමන ජයග්‍රහණයකින් අවසන් කිරීම බලාපොරොත්තුවයි

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථකම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස සැලකෙන නිලූක කරුණාරත්න ඔලිම්පික් උළෙල ජයග්‍රහණයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි. ඔහු අඛණ්ඩව තෙවැනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා අවස්ථාව උදාකරගෙන සිටියි.

“ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුන් වතාවක් නියෝජනය කළ ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් අතලොස්ස අතරට එක්වීමට ලැබීම ගැන මම ආඩම්බරයට පත්වෙනවා. මෙවැනි අවස්ථාවක් මින් පෙර ලංකාවේ කිසිම බැඩ්මින්ටන් ක්‍රීඩයකුට ලැබිලා නෑ. මෙය මා සහභාගි වන අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය ජයග්‍රහණයකින් නිමාවට පත්කර ගැනීම මගේ ප්‍රධානතම ඉලක්කයයි.” යැයි පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නිලූක පැවසීය.  

මේ වන විට 36 වැනි වියේ පසුවන නිලූකට ඒ සඳහා ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ ත්‍රෛපාක්ෂික කෝටා ක්‍රමය යටතේ අවස්ථාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සහ ජාතික ඔලිම්පික් කමිටුව තහවුරු කළේය.

“මට මගේ හැකියාව ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. මම වසර 2001 දී ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වුණේ අවුරුදු 16 කදී තරම් ළාබාල වයසකදියි. සෑම වයස් කාණ්ඩයකින්ම මම ජාතික ශූරතා දිනා තිබෙනවා. 2001 සිට මම අවස්ථා 17 කදීම ජාතික ශූරතාව දිනාගත්තා. ඒ අතරතුර කාලයේ මම කිසිවකුට පරාජය වුණේ නෑ.” යැයි අවශ්‍ය පරිසාධන මට්ටම කරා යමින් වසර 2012 දී සහ 2016 දී ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කළ නිලුක කියා සිටියේය.

අසුන් පැදවීමේ ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන්, ජීම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි සහ වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල සමග නිලූක, ලබන මස ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වනු ඇත. ඔවුන් අතරින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා අවශ්‍ය පරිසාධන මට්ටමට අවතීර්ණ වෙමින් ඊට සුදුසුකම් ලැබීමට සමත් වූයේ කාල්සන් පමණි. සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා අවස්ථාව ලැබුණේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට වෙන් කර ඇති ත්‍රෛපාක්ෂික කොමිසමේ ආරාධිත ස්ථාන කෝටාව තුළිනි.

2002 සිට 2018 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ 5 කට සහභාගී වූ නිලූක, සිය පළමු අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කළේ 2011 වසරේදී පෝටෝරිකෝහිදීය. එතැන් පටන් මේ දක්වා ඔහු අන්තර්ජාතික ජයග්‍රහණ 24 ක් ලබා සිටියි.

“ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ස්තූතිය පළ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මෙවැනි ප්‍රධාන මට්ටමේ තරගාවලියක් සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමට දායකත්වය ලබා දුන් ජාතික ඔලිම්පික් කමිටුවට මෙන්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයටත්, ඉහළ දස්කම් ව්‍යාපෘතියටත්, මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා කවුන්සිලයටත් මම ස්තූතිය පුද කරනවා.” යැයි නිලූක එහිදී වැඩිදුරටත් පැවැසීය.

“ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දැනට තිබෙන ස්ථානයට වඩා අඩුම තරමින් එක් පියවරක්වත් ඉදිරියට තැබීමට මට හැකියාවක් ලැබුණොත් ඒක ඉදිරි පරම්පරාවට විශාල පිටුවහලක් වේවි. මගේ එකම අභිප්‍රාය එයයි. මා ඒ සඳහා හැකි සියලුම උත්සාහයන් දරන බවට පොරොන්දු වෙනවා.” යැයි නිලූක අවසන් වශයෙන් කියා සිටියේය.

-036


අදහස් (0)

ඔලිම්පික් ගමන ජයග්‍රහණයකින් අවසන් කිරීම බලාපොරොත්තුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.