Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එවරස්ට් ජයගත් පළමු ශී‍්‍ර ලාංකිකයා ජයන්ති

එවරස්ට් ජයගත් පළමු ශී‍්‍ර ලාංකිකයා ජයන්ති

ශනුක අරවින්ද - 2016 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

හිමාලය කඳු වැටියේ පිහිටි ලොව උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන (මීටර් 8,848) තරණය කළ පළමු ශී‍්‍ර ලාංකිකයා ලෙස ජයන්ති කුරුඋතුම්පාල අද (21 වැනිදා) ඉතිහාසයට එක්විය. ජයන්ති ඇතුළු පිරිස එවරස්ට් කඳු මුදුනට පැමිණි බව කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන්ව තිබිණ.

ජයන්ති ඇතුළු පිිරිස අද අලූයම 5.00 ට පමණ එවරස්ට් කඳු මුදුනට අවතීර්ණ වූ බව වාර්තා වේ.

ඇයගේ කණ්ඩායමට කඳු තරණය කරන්නන් 9 දෙනෙක් සහ ෂර්පා ජාතිකයෝ 15 දෙනෙක් ඇතුළත් වූ බවද කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන් වී තිබේ.

කෙසේ වෙතත් ජයන්ති කුරු උතුම්පාල සමග හිමාලය තරණය කිරීමට ගිය අනෙක් ශී‍්‍ර ලාංකිකයා වන ජොහාන් පීරිස් තරණයේ අවසන් කොටසේදී ඇය සමග සිට නැත. ජොහාන් පීරිස් 4 වැනි කඳවුර දක්වාම ජයන්ති සමග සිට ඇතත් අවසන් කොටසේදී ජයන්ති සහ ෂර්පා ජාතිකයෝ ඉදිරියට ගියහ.

හිමාලය තරණය කරන්නන් විසින් ඔවුන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන යාම සඳහා හිමාලයේ කඳු ආශි‍්‍රතව දිවිගෙවන ෂර්පා ජාතිකයන් යොදා ගැනේ.

4 වැනි කඳවුර පිහිටා ඇත්තේ මුහුද මට්ටමේ සිට අඩි 26,000 ක උසිනි.

20 වැනිදා රාති‍්‍රයේ 9.00 ට පමණ ජයන්ති ඇතුළු කණ්ඩායම තරණයේ අවසන් කොටසේ නැග්ම ආරම්භ කරන විට එහි තිබී ඇත්තේ චන්ද්‍රාලෝකය පමණි. එවරස්ට් කඳු මුදුනට මුහුදු මට්ටමේ සිට ඇති උස අඩි 29,029 කි.

මරණයේ කලාපය යනුවෙන් හැඳින්වෙන අඩි 26,000 කට ඉහළින් පිහිටි කොටසේදී හිමාලය තරණය කරන්නන්ට විඳින්නට සිදුවන දුෂ්කරතා කෙළවරක් නැත. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් ගන්නා එම කොටසේදී වායු ගෝලයේ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය මුහුදු මට්ටමේ පවතින ප‍්‍රතිශතයෙන් තුනෙන් එකකි. එබැවින් ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ඉතා අසීරුය.

ජයන්ති සහ ජොහාන් ඇතුළු පිරිස එවරස්ට් පදනම් කඳවුරෙන් පිටත් වූයේ මැයි 15 වැනිදාය.

ජයන්ති සහ ජොහාන් අපේ‍්‍රල් මාසයේ මුල සිට හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබූ අතර පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගත්හ.

ඉතාමත් අසීරු මෙන්ම වඩාත් අවදානම් සහිත කුම්බු අයිස් ඇල්ලේ නිතැතින්ම වෙනස් වන අයිස් ග්ලැසියර කඩා වැටෙන ස්ථානය හරහා ගමන් කිරීමත්, ඊට මුහුණලා ඍජුව පිහිටා තිබෙන ලෝට්ස් නම් වූ අයිස් වලින් සැදුණු බිත්තියට පහළින් ගමන් කර පිහිටි කඳවුරු අංක 3 වෙත ළඟාවීමත් එම පුහුණුවට ඇතුළත් විය.

වසර 30 පමණ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සමග ජයන්ති සහ ජොහාන් එවරස්ට් කඳුමුදුනට යාමට එක්වී සිටියහ. මෙම ගමනට සම්බන්ධ වීමට ජයන්තිට සහ ජොහාන්ට ඔවුන්ගේ උස් කඳු නැගීමේ අත්දැකීම්, අයිස් කඳුනැගීමේ කුසලතා සහ ලණු බැඳීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන්හි පළපුරුද්ද එම කණ්ඩායම ඉදිරියේ පෙන්නුම් කිරීමට අවශ්‍ය විය.

ඡයාරූප : කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි


-036

 


අදහස් (3)

එවරස්ට් ජයගත් පළමු ශී‍්‍ර ලාංකිකයා ජයන්ති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.