Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කීර්තිධරයන්ගේ නාමාවලියට එක්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන කුමාර් සංගක්කාර මහතාගේ සිහිවටන හිස්වැස්ම එංගලන්තයේ සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී ඔහුට පිරිනමනු ලැබිණ. මෙම හිස්වැස්ම සංගක්කාරට පිරිනමන ලද්දේ ඉන්දීය පිලේ හිටපු නායකයකු මෙන්ම කීර්තිධරයන්ගේ නාමාවලියේ මුල් පෙළ සාමාජිකයකු වන සුනිල් ගවස්කාර් මහතා විසිනි.
මෙවන් සම්මාන සිහිවටනයක් පිරිනැමීම සඳහා සාමාන්‍යයෙන් තෝරාගනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් පැවැත්වෙන ප්‍රධාන ඉසව්වක අතරතුර දිනයකි. මේ දිනවල එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයේ විස්තරකථක කණ්ඩායමේ සුනිල් ගවස්කාර් මහතා මෙන්ම කුමාර් සංගක්කාර මහතාත් සිටිති.
මෙම සමරු හිස්වැස්ම ප්‍රදානය කිරීමේ අවස්ථාව අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙනුවෙන් විකාශය කරන ලද්දේ ස්ටාර් ස්පෝට්ස් රූපවාහිනිය විසිනි. එහිදී සංගක්කාර මහතා මෙන්ම ගවස්කාර් මහතාත් අදහස් දැක්වූහ.
“මගේ සමරු හිස්වැස්ම ගවස්කාර් මහතා අතින් ලබාගැනීමම අති විශාල ගෞරවයක්. ඔහු තමා මා දුටු හොඳම ආරම්භක පිතිකරුවා... ධෛර්යයේ වගේම පරිපූර්ණත්වයේ මිනිසෙක්. ඔහු තමා ලෝකයේ වඩාත්ම භයානක වේග පන්දු යවන්නන්ගේ හමුදාවට එරෙහිව වැඩිම ශතක සංඛ්‍යාවක් ලබාගත්තේ....”
“ඔහුගේ අතින් මේ සිහිවටන හිස්වැස්ම ලබාගැනීමට වඩා වැඩි ගෞරවයක් ගැන මට හිතාගන්න බෑ” යයි සිය සමරු හිස්වැස්ම ලබාගැනීමෙන් පසුව කුමාර් සංගක්කාර මහතා පැවසීය.
සංගක්කාර මහතා ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටියදී පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු වශයෙන් නිරූපනය කළ අසීරු භූමිකාව දැනට 71 හැවිරිදි වියේ පසුවන ගවස්කාර් මහතාගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර විය.
“ඒක පහසු වැඩක් නෙමේ. කඩුලු රැකීමෙන් පසුව පන්දුවට පහර දෙන්න යන එක කොහොමටවත් පහසු වැඩක් නෙමේ”
“ඉස්සරවෙලා පන්දුවට පහර දීලා ඊට පස්සේ කඩුලු රකින්න යන්න කව්රුත් කැමති වේවි. ඒත් ලකුණු 300 ක ඉනිමක් වුණත් කඩුලු රැකීමේ යෙදෙනවා නම් ඒක දවස් එකහමාරක් විතර. ශ්‍රී ලංකාවේ වගේම දකුණු ආසියාවේම තියෙන්නේ ඉතාමත් උෂ්ණාධික දේශගුණයක්. ඒ නිසා දිගු ඉනිමක් කඩුලු රැකීමේ යෙදිලා ඊට පස්සේ පන්දුවට පහර දෙන එක පහසු වැඩක් නෙමේ...”
“ඔහුගේ කැපවීම, ශාරීරික යෝග්‍යතාව වගේම දරාගැනීමේ හැකියාවත් අති විශිෂ්ටයි” යයි ගවස්කාර් මහතා සංගක්කාරගේ සමරු හිස්වැස්ම පිරිනැමීමෙන් පසුව පැවසීය.
සිය තරග දිවියේ වඩාත්ම සිත්ගන්නා සුළු මොහොත කුමක්ද යන්න ක්‍රිකට් කීර්තිධරයන්ගේ නාමාවලියට එක්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයාගෙන් රූපවාහිනී නිවේදිකාව විමසා සිටියාය.
“සිහිවටන නම් ගොඩාක් තියෙනවා. ඒත් 2014 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය තමා මුලටම එන්නේ. මොකද අපි ඊට ඉස්සරවෙලා හතර වතාවක් උත්සාහ කරලත් අවසන් කඩුල්ල පැනගන්න බැරිවුණා. ඒ හින්දා 2014 දි ලබාපු ඒ ජයග්‍රහණය හරිම වටිනවා”
“තවත් සුවිශේෂී මතක සටහන් බොහොමයක් තියෙනවා. ඒත් අපි ක්‍රීඩාව හැර යාමත් සමගම ඒවා අපෙන් ඈත් වෙලා යනවා... ඒ අතින් මම බොහොම වාසනාවන්තයි. මොකද මම ක්‍රීඩා පිටියේදී ඇතිකරගත්ත යාළු මිත්‍රකම් හතරේ සීමාවෙන් බොහොම ඈතට ගිහිනුත් තවමත් අපි අතරේ පවතිනවා.”
“මා හැදී වැඩුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දිහා බලා ඉඳිමින්. අද ඒ දැවැන්තයන් (සුනිල් ගවස්කාර්, මයිකල් හෝල්ඩිං සහ ඉයන් බොතම් වැනි) සමගම එකට ඉඳගෙන ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා බහ කරමින් තව තවත් ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා” යයිද සංගක්කාර මහතා පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.