Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එදා දවස හොඳට ‍කළොත් ශ්‍රේණිගත කිරීම අංකයක් විතරයි

එදා දවස හොඳට ‍කළොත් ශ්‍රේණිගත කිරීම අංකයක් විතරයි

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයට එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි ප්‍රබල රටවල් ඇතුළත්ව සිටියද, තරග වදින දිනයේදී ප්‍රතිවාදී කණ්ඩායමට වඩා වැඩි දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකි වුවහොත් ශ්‍රේණිගත කිරීම් හුදෙක් අංකයකට පමණක් සීමාවනු ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා‍යමේ නායිකා චමරි අතපත්තු පවසන්නීය.

ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා එංගලන්තයේ බර්මින්හැම් නුවර බලා පිටත්ව යෑමට පෙර ඇය‍ මේ බව කියා සිටියාය. ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන්ද ඇතුළත්ව සිටිති. මැලේසියාවේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියක ශූරියන් බවට පත්වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සහභාගි වීම සඳහා අවස්ථාව හිමි කරගත්හ.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම මස 30 වැනිදා එංගලන්තයට එරෙහිවද, අගෝස්තු මස 2 වැනිදා නවසීලන්තයට එරෙහිවද, අගෝස්තු මස 4 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවද තරග වැදීමට නියමිතය. මූලික වටයේදී දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අවස්ථාව උදාවනු ඇත.

මෙම තරගාවලියට පෙර ඉන්දියාවට ‍එරෙහිව ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ විස්සයි-20 තරගාවලියේදී ලැබූ අත්දැකීම් මෙම තරගාවලියේදී තම කණ්ඩායමට මහඟු පිටිවහලක් වනු ඇතැයිද එහිදී චමරි කියා සිටියාය. එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයගත හැකි වූයේ එක් තරගයක් පමණක් වුවද, සෙසු තරග දෙකේදීද ඉන්දියාවට කරට කර තරගයක් දීමට හැකිවීම තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගී ඇතැයිද ඇය පවසන්නීය.

“මේ තරගාවලියට කළින් අපි ඉන්දියාවත් එක්ක විස්සයි-20 තරගාවලියක් ක්‍රීඩා කළා. ඒ අත්දැකීමුත් එක්ක මේ තරගාවලියට අපේ හොඳ සූදානමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහිදී අපිට තරග 3 න් එකයි ජයගන්න පුළුවන් වුණේ. ඉන්දියාව කියන්නේ හුඟක් හොඳ කණ්ඩායමක්. ඒත් අපි ඔවුන් එක්ක අපි කරට කර සෙල්ලම් කළා. ඒ තරගාවලිය තුළින් ලබපු පන්නරය මේ තරගාවලියේදී අපිට වාසියක් වෙයි කියලා හිතනවා.” යැයි චමරි පැවසුවාය.

රට තුළ පැවති අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් සිය කණ්ඩායමට පුහුණු සැසි කිහිපයක්ම මඟ හැරුණද, තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර සහභාගි වූ දින 7 ක පුහුණු කඳවුර තුළින් ක්‍රීඩිකාවන් ‍මේ වන විට සඳහා හොඳ සූදානමක් ලබා සිටින බවද නායිකාව සඳහන් ‍කළාය. ඊට අමතරව ප්‍රතිවාදී කණ්ඩායම්වල ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා ‍පිළිබඳව විඩියෝ දර්ශන නරඹමින් වැඩිදුර අධ්‍යනයක නිරත වූ බවද ඇය කියා සිටියාය.

“අපේ ප්‍රතිවාදී කණ්ඩායම් වල පෞද්ගලික හිමිකාරීත්වයන් දරන විස්සයි-20 ලීග සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩිකාවෝ ගොඩක් ඉන්නවා. ඒත් විස්සයි-20 තරග රටාව කියන්නේ ඉතාමත් ඉක්මනින් වෙනස් වන තරග රටාවක්. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ ක්‍රීඩිකාවන් එදා දවසේ එයාලගේ උපරිමය දීලා හොඳින් ක්‍රීඩා කළොත් ප්‍රතිවාදීන් පරාජය කිරීමට හැකි වේවි කියලා.” යැයි චමරි අවදාරණය කළාය.                                                   

“පසුගිය තරගාවලි කිහිපයේදීම අපේ පන්දු යැවීම හුඟක් ඉහළ මට්ටමක තිබුණා. පිතිහරඹය තමයි තරමක් පසුබෑමකට ලක්වෙලා තිබුණේ. ඒ නිසා මේ තරගාවලියේදී අපේ පිතිකාරිණියන්ට ලකුණු අතරට එන්න පුළුවන් ‍වුනොත් අපිට තරගාවලියේ ඉදිරියට යන්න අවස්ථාව උදාවේවි කියලා මම හිතනවා.” යැයිද චමරි වැඩි දුරටත් පැවසූවාය. 

එංගලන්තයේ තණතීරු වේග පන්දු යවන්නියන්ට වඩාත් උචිත බැවින් කණ්ඩායමේ වේග පන්දු යවන්නියන්ට මෙම තරගාවලියේදී වැඩි වගකීමක් පැවරෙන නමුත්, ඕනෑම තණතීරුවක පන්දුව දඟ කැවිය හැකි දක්ෂ දඟ පන්දු යවන්නියන් කිහිප‍ දෙනකුම තම කණ්ඩායම සතුව සිටින බවද අවසාන ව‍ශයෙන් චමරි කියා සිටියාය.

 


අදහස් (0)

එදා දවස හොඳට ‍කළොත් ශ්‍රේණිගත කිරීම අංකයක් විතරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.