ශ්‍රී ලංකාව පලස්තීනයට පරදී
(නාමල් පතිරගේ)
ආසියානු කුසලාන (2026) වයස 23 න් පහළ පාපන්දු තරගාවලියේ නිර්දේශ තරග වටයට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව සෙනසුරාදා (6) බිශ්කෙක් නුවරදී පැවැති තරගයකදී පලස්තීනයට ගෝල 5 - 0 කින් පරාජයට පත් විය.පළමු භාගයේදී ගෝල 1- 0 ක් ලෙස පෙරමුණ ගනිමින් පලස්තීනය එම ජයග්‍රාහණය වාර්තා කළේය.
කිරිගිස්ථානයේ බිශ්කෙක් නගරයේ සත්කාරයෙන් ශ්‍රී ලංකාවද තරග වදින මෙම ඊ කාන්ඩයේ නිර්දේශ වටය පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග දෙකෙන්ම පරාජයට පත්ව සිටින බැවින් ඒ වන විටත් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරියට යාම (නිර්දේශ ලැබීම) අවහිරවී තිබේ.
මෙම තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට ගෝල 4 - 0 කින් පරාජය විය.ශ්‍රී ලංකාවට එහිදී ඉතිරිව තිබෙන තෙවැනි (අවසන්) තරගය හෙට ( 9) පැවැත් වෙන්නේ සත්කාරක කිරිගිස්ථානයට එරෙහිවය.
ඊ කාන්ඩයේ තරග වටයේ අද (7) වන විට නිකුත් කර තිබූ ප්‍රසාද ලකුණු සටහනට අනුව එතෙක් පැවැති තරග දෙකම ජය ගනිමින් උස්බෙකිස්තානය පෙරමුණේ පසුවේ.ශ්‍රී ලංකාව ඒ වන විට කිසිදු ප්‍රසාද ලකුණක් නොලබා සිව් වැනි (අවසන්) ස්ථානයේ පසුවේ.
හත් වැනි ආසියානු කුසලාන වයස 23 න් පහළ පාපන්දු තරගාවලිය ( අවසන් වටය) වසර 2026 ජනවාරි 7 වැනිදා සිට 25 වැනිදා දක්වා සෞදි අරාබියේ සත්කාරයෙන් පැවැත්වේ.ඒ සදහා නිර්දේශ තරග වට 11 ක ශූරයන් හා සත්කාරක රාජ්‍යය නිර්දේශ ලබයි.
සංචාරක ශ්‍රී ලංකා වයස 23 න් පහළ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් අමුනුල්ලා මහතා කටයුතු කරයි.ඔහු ඇතුළුව පුහුණු හා පරිවාර නිලධාරීන් 11 දෙනෙකුගේ කාර්‍ය මණ්ඩලයක් මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව සිටියි.