Last Update  :  2025-09-11 16:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features දූෂණය විශ්වයටම වසංගතයක්

දූෂණය විශ්වයටම වසංගතයක්

editorial - 2025 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුමන ක්‍ෂේත්‍රයක සංවර්ධනයක් වුවද එහිලා පැන නගින ප්‍රබල සම්බාධකය වනුයේ දූෂණයයි. දූෂණය යනුවෙන් නිරන්තරව භාවිත වන මෙම වචනයෙහි ගැබ්ව ඇත්තේ ඉතා පුළුල් අර්ථයක් බව පළමුව කිව යුතුය. පුද්ගලයා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය අරමුණු කරගෙන තමා සතු බලය අයථා ලෙස භාවිත කිරීමක් දූෂණය ලෙස මෙහිලා මූලිකව හඳුනාගත හැකිය.

මෙලෙස තමා සන්තකව පවතින්නා වූ ආර්ථික, දේශපාලන, සමාජ හෝ සංස්කෘතික බලයක්, හැකියාවක්, හෝ අවස්ථාවක් තමාගේම අතිශය පෞද්ගලික වාසිය පිණිස අයථා ලෙස යොදා ගැනීම මෙහිදී පොදුවේ දූෂණය ලෙස හඳුනාගන්නේ නම් සැබවින්ම එය ප්‍රබල සමාජ උවදුරක් බව යළි යළිත් කිව යුතුය.

ඒ නිසාම මානව සංවර්ධනය පිළිබඳව කතා කිරීමේ දී දූෂණය නූතනයෙහි “තහනම් වචනය” බවට පත්ව ඇති බව සත්‍යයකි. එපමණටම එය අද ප්‍රබල ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇත.

ලෝක ආර්ථික සංසදයේ වාර්තා අනුව දූෂණය නිසා ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව අහිමි වන ඩොලර් සංචිතය මිලියන 3.5 කට ආසන්න වේ. ගෝලීය මට්ටම එසේ වුව ද දියුණු සංවර්ධිත රටවලට වඩා දියුණු වෙමින් පවතින ඌන සංර්ධිත රටවල දූෂණය පිළිබඳ අත්දැකීම් බෙහෙවින් සංකීර්ණ ස්වරූපයක් ගනු ලබන බව සත්‍යයකි. දියුණු සංවර්ධිත රටවලට වඩා මෙබඳු රටවල දියුණුව කරා යන ගමනේ දී මෙබඳු තත්වයක් උද්ගත වී ඇත්තේ ඇයි?  යන්න දිගු කලක සිට සාකච්ඡාවට බඳුන්වන සංවාදශීලී මාතෘකාවක් බවට පත්ව ඇත.

දූෂණය අපට අංශ කිහිපයක් යටතේ හඳුනාගත හැකි බව පළමුවෙන්ම දැක්විය යුතුය. ඉන් පළමුවැන්න නම් මහා පරිමාණ දූෂණයයි. එනම් ඉහළ විධායක මට්ටමේ ආයතන හෝ පුද්ගලයන් මගින් හෝ සිදුවන්නා වූ අයථා ගනුදෙනු, සුවිශාල ක්‍ෂේත්‍රයක පැතිරී ඇති අසාධාරණ අයථා ක්‍රියාය. දෙවැන්න නම් දේශපාලනික දූෂණයයි. එනම් රාජ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයට දේශපාලන බලපෑම ලැබීමෙන් පසු සිදු කරන අයථා මැදිහත්වීම් මත පදනම් වූ ක්‍රියාකාරකම්ය. තෙවනුව හඳුනාගත හැක්කේ සුළු පිරිසක් තුළින් වුවත් සුවිශාල තීරණාත්මක ප්‍රතිඵල රැසක් පිළිබිඹු කරන අයථා ක්‍රියා සහ ගනුදෙනු මූලික කරගත් දුෂණයයි. මෙහිදී සහභාගීවන්නන් අල්ප වුවත් එහි ප්‍රතිඵලය අනල්ප ක්‍ෂේත්‍රයක විහිදී පැතිරීම දැකිය හැකිය. එනම් හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, රාජකාරි ලේඛන ලබා ගැනීම වැනි කාර්යයන් හිදී සිය බලය අයථා ලෙස යොදවමින් මුදල් ලබා ගැනීමට යත්න දැරීමත් හඳුනාගත හැකිය.

සත්‍ය වශයෙන්ම දූෂණය මෙතරම් විශ්ව ව්‍යාප්ත සමාජ උවදුරක් බවට පත්වූයේ ඇයි? එහිලා බලපෑ සමාජ සංස්කෘතික ආර්ථීක හේතු සාධක මෙන්ම මනෝ මූලික කාරණාද තිබිය නොහැකිද යන කාරණා තත් ක්ෂේත්‍රය පිළිබඳ කතා කරන බොහෝ දෙනකුගේ අවධානයෙන් ගිලිහී ගිය කරුණක් විය හැකිය. අනෙක් අතට දූෂණය පිළිබඳ සංස්කෘතියක් ද නූතනයේ හඳුනාගත හැකි වීමද වැදගත් කරුණකි. මනෝ මූලික වශයෙන් පුද්ගලයා දූෂණයට පෙළැඹෙන්නේ ඔවුනට ආවේණික වූ යම් යම් මනෝ මූලික පෙළැඹීම් මත බැව් අප තේරුම් ගත යුතුය. එය අවබෝධ කර ගැනීමට අප ජීවත් වන සමකාලීන සමාජයේ සැබෑ ස්වරූපය පළමුව තේරුම් ගැනීම වැදගත්ය. අද අප ගත කරන්නේ මූලිකවම දැඩි ලෞකිකත්වයට නැඹූරු වූ වර්ණවත් සමාජයක බව නොරහසකි. සංකල්පීය අර්ථයෙන් ගතහොත් පරිභෝජන වාදය පදනම් කරගත් නව ලිබරල්වාදී ගෝලීය ආර්ථිකයකට ගොදුරු වෙමින් පවතින යුගයකය. මෙබඳු වාස්තවික සමාජ පසුබිමක පොදු ජන මනසෙහි දැකිය හැකි අපූර්ව සිතිවිලි රටාවකි. දෛනික ජීවිතයේ හැම දෙයකින්ම ඉක්මන් බව, ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමේ ආශාව, සුව පහසු බව, නවතාව යන මනෝ මූලික සාධක එහිලා හඳුනාගත හැකිය. මෙබඳු තත්වයක් යටතේ ඉක්මනින් තම අරමුණු ඉටු කර ගෙන සැප සොයා යාමේ ආශාව නොතිත් ආශාවක් බවට පත් වීම අනිවාර්යය වේ. අනෙක් අතට මුළු සමාජයේම බහුතරයක් මෙසේ ඉක්මනින්ම උසස් සමාජ තලයකට ප්‍රවිශ්ට වීමේ දැඩි වෑයමෙහි නියැළීම නිසා සමාජයෙන් නව සමාජ පන්තීන් බිහි වීම ද හඳුනාගත හැකිය. මෙහි ප්‍රතිඵලය වන්නේ කෙසේ හෝ කුමන මගකින් හෝ මෙම අලු‍ත් සමාජ ස්ථරයට ඇතුළු වීමට පුරවැසියන් තුළ හට ගනු ලබන අසීමිත ආශාවයි. එහෙත් ඒ සඳහා තමා සතු සීමිත සම්පත් කිසිසේත් ප්‍රමාණාත්මක නොවීමේ ගැටලු‍ව ද පැන නගී. අල්ලස නම් වූ දූෂණයේ පෙරගමන්කරුවා අපට මුල් වරට මුණ ගැසෙන්නේ මෙතැන් හිදීය.

මෙම මනෝ මූලික තත්වය ලෞකික කාරණා විෂයයෙහි පමණක් නොව අධ්‍යාත්මික කාරණ සම්බන්ධව ද අද අපට දක්නට පුළුවන. ආගම පොදු ජන සමාජය වෙතට වඩ වඩාත් යොමු වී පවතින මෙවන් කලක මේ ඔස්සේ නොයෙකුත් ජාවාරම් කරමින් මිනිසුන් ගසා කන ගිහි පැවිදි පිරිස් හඳුනාගත හැකිය. හැම දෙයක්ම ඉක්මනින්, නවතාවකින්, ලබා ගැනීමේ ඉහත පෙන්වා දුන් සමාජ ඕනෑකම ලෝකෝත්තර කාරණා විෂයයෙහි ද නූතනයේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ මාර්ග ඵලලාභීන්, බුදුවරුන්, අරහත් ඵලලාභීන් අද සමාජයෙන් අපට හමුවන හෙයිනි. අද පවතින පරිභෝජනවාදී නැඹුරුව මූලික කරගෙන මෙබඳු චරිත සමාජය තුළ ජන කාන්ත චරිත වෙමින් ගොඩ නැගුණු ඔවුන් මූලික කරගත් ආගමික කල්ලි  අද අපට හඳුනාගත හැකිය. බැලූ බැල්මට මෙය ආගමික සංසිද්ධියක් වුවත් ආගමික ශ්‍රද්ධාව ඉදිරියට දමා කරනු ලබන අසාධාරණ ආගමික සූරාකෑම් ගසා කෑම් මෙහි දී අපට හඳුනාගත හැකි වේ. දෙවැනුව මෙම සැඟවුණ දූෂණය අපට තවත් පැත්තකින් මෙම ආගමික කල්ලි අනුසාරයෙන් තේරුම් ගත හැකිය. එනම් කිසියම් විධිමත් සමාජ සංස්කෘතික ධාරාවක් ව්‍යාකූල කර එමගින් සමාජ ඒකාබද්ධතාව බිඳ දමා ඉන් නොනැවතී සුවිශාල ලාබ ප්‍රයෝජන ලබන බලවේග මෙම ආගමික කල්ලි පිටුපස හිඳ විශාල ධනයක් ඒවාට ආයෝජනය කිරීමයි. මොවුන්ගේ ක්‍රියාකාරකම් බැලූ බැල්මයට දර්ශනීය ආගමික ඉදිකිරීම් සහිත ව්‍යාපාර වුවත් ඒ තුළ ඉන් එහා ගිය වාණිජවාදී සූරා කෑමක් හඳුනාගත හැකිය.. මෙය දූෂණ සංස්කෘතියේම එක් කොටසකි.. භාවාත්මක සිතුවිලි ජාලාවකින් පුද්ගලයා මං මත්කර නිර්දය සූරා කෑමකට ලක් කිරීමක් එහිදී සිදු කෙරේ.

සැබවින්ම මෙලෙස දූෂණය සහ දූෂණ සංස්කෘතිය ප්‍රභවය ලබන්නේ ඇයිද යන ප්‍රශ්නයට පැහැදිලි නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බව කිව යුතුය. දැවැන්ත ඉදි කිරීම්, ගොඩනැගිලි, මහාමාර්ග, පොදු සේවා, ආරම්භ කිරීම් වැනි අවස්ථාවල දී ඒ ආශ්‍රිත පරිපාලන සහ මූල්‍යමය තීරණ ගැනීම විනිවිද පවතින ආකාරයෙන් සිදු නොවීම නවීකරණය වන නූතන සමාජයේ දූෂණය හඳුනාගත හැකි ප්‍රබල අවස්ථාවක් බව ප්‍රකට කරුණකි. අනෙක් අතට දේශපාලනික ආධිපත්‍යය සියල්ල අබිබවා ඉස්මතුව නැගී සිටිමින් මුදල් පාලනය සිය අභිමතය පරිදි සිදුවන අවස්ථා ද ඒ සමගම දැකිය හැකිය. දේශපාලනයට පරිභාහිරව නිල බලවාදී බලව්‍යූහයක පරිපාලන තීරණ සිර වී පැවැතීම ද මේ සමග හඳුනාගත හැකිය. සාමාන්‍ය පරිපාලන කටයුතු පිළිබඳ බහුතර පොදු ජනයාට නිවැරැදි අවබෝධයක් නොවීම ද දූෂණය අවම කරගත නොහැකි වීමට බලපෑ කරුණකි.

කුමන තත්වයක් යටතේ වුව ද දූෂණය අද මෙරටේ සමාජ ආර්ථික අර්බුද රැසකම ප්‍රධානතම හේතු මූලය බවට පත්ව ඇති බැව් අවිවාදාත්මක කරුණකි. පසුගිය සමයේ ආර්ථිකය කඩා වැටී බංකොලොත්භාවයට පත්වූ මෙරට එහිලා මූලිකවම බලපෑවේ ප්‍රභූ දේශපාලකයන්ගේ ගසා කෑම්, සූරා කෑම්, අයථා මුදල් ඉපයීම්, බව ප්‍රකට රහසක් වී ඇත. අසීමාන්තික ධනයක් තමා උපයාගනු ලැබුවේ කෙසේද යන ප්‍රශ්නයට නිවැරැදි නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි පුද්ගලයන් නූතන සමාජයේ දැකිය නොහැකිද? මෙබඳු සමාජ විෂමතා සමාජය තුළ නව සමාජ පන්තීන් බිහිවීමට ද බලපා ඇති බව කිව යුතුය. එමෙන්ම දූෂණයෙන් පරිසරයට සිදු වන භෞතික විනාශය අද අප කොතරම් අත් විඳිමින් නොසිටිමුද? මෙම සියලු‍ කාරණා පොදුවේ අපට අවධාරණය කරන්නේ එක් දෙයකි. දූෂණය මෙරට පුද්ගල සහ සමාජ ජීවිතයේ සෑම පැත්තක්ම ආවරණය කරමින් නැගී සිටින අයෝමය සමාජ ව්‍යාධියක් බවය. හුදෙක් නෛතික ක්‍රියාකාරකම් හෝ දඬුවම්වලින් පමණක්ම මෙම බිහිසුණු තත්වයේ වෙනසක් ඇති කළ හැකි යැයි සිතිය නොහැකිය. සියල්ල වෙළෙඳපොළ විසින් පාලනය කරන සමාජයක මානව සබඳතා යාන්ත්‍රික මෙවලම් සංස්කෘතියක් විසින් හසුරවමින් සිටී. සියල්ලටම වඩා වැදගත් වන්නේ තමාට ලැබෙන්නේ කුමක්ද? එය ලබා ගන්නේ කෙසේද? යන තත්වය පමණක් යැයි සිතන තැනට නූතන මිනිසා පත්ව සිටින විට දූෂණයට එරෙහිව ක්‍රියා කළ හැක්කේ වරදට දඬුවම් කිරීමෙන් පමණක් නොවේ. මිනිස් මනස මානව සබඳතාවල වටිනාකම සහ මානව ගුණධර්ම පිළිබඳ අසීමිත ගෞරවාදරයකින් උත්කර්ෂණය කිරීමෙන් පමණි. එය කිරීමට අද අපේ අධ්‍යාපනය කොතරම් දුරට සමත් වේද?

අධ්‍යාපනය, පුද්ගල කේන්ද්‍රීය, සිරස් චල්‍යතාව හෙවත් පුද්ගලයාට තමා පමණක් ඉහළට යෑමේ ආශාව ජනනය කරන මාධ්‍යයක් බවට නූතනයෙහි පත්විය හැකි බැව් අපි දනිමු. මෙබඳු තත්වයක් යටතේ දූෂණයට පෙළැඹෙන නූතන මිනිසා ඉන් ගලවා ගැනීමට හැකි ආකල්ප දැනුම සහ කුසලතාවල වැදගත්කම මෙන්ම දූෂණය පිළිබඳ නව සමාජ දැක්මක අවශ්‍යතාව ද අවධාරණය කළ යුතුය.

 

(***)


අදහස් (0)

දූෂණය විශ්වයටම වසංගතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.