Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය ලකුණු 20 කින් නවසීලන්තය පරදවයි

එංගලන්තය ලකුණු 20 කින් නවසීලන්තය පරදවයි

editorial - 2022 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද එංගලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. එහිදී සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2 බැගින්ද, බෙන් ස්ටෝක්ස් සහ ක්‍රිස් වෝක්ස් එක් කඩුල්ල බැගින්ද දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක කේන් විලියම්සන් (40) සහ ග්ලේන් පිලිප්ස් (62) සමත් වූහ. කෙසේ වුවත් නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. 

පන්දු 40 කදී වාර්තා වූ විලියම්සන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 36 කට මුහුණදුන් පිලිප්ස්, හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. මිචෙල් සෑන්ට්නර් පන්දු 10 කින් නොදැවී ලකුණු 16 ක් රැස්කළේ හයේ පහරක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක ලබා ගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ජොස් බට්ලර් පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය. 

ඇලෙක්ස් හේල්ස් (52) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 81 සම්බන්ධතාවක් පිහිටුවමින් එංගලන්තයට වේගවත් ආරම්භයක් ලබාදීමටද බට්ලර් සමත් විය. පන්දු 40 කට මුහුණදුන් හේල්ස් හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. 

ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 14 කින් ලකුණු 20 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. එංගලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි සෙසු පිතිකරුවෝ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අසමත් වූහ. 

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 179 
(ජොස් බට්ලර් 73, ඇලෙක්ස් හේල්ස් 52, ලයෑම් ලිවිංග්ස්ටන් 20, ලොකී ෆර්ගසන් 45/2) 

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 159 
(ෆින් ඇලන් 16, කේන් විලියම්සන් 40, ග්ලේන් පිලිප්ස් 62, මිචෙල් සෑන්ට්නර් නොදැවී 16, සෑම් කරන් 26/2, ක්‍රිස් වෝක්ස් 33/2) 

-036


අදහස් (0)

එංගලන්තය ලකුණු 20 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.