Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය අපරාජිත බව රැකගනී

එංගලන්තය අපරාජිත බව රැකගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාවට එරෙහිව බර්මින්හැම්හිදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග සිය අපරාජිත බව රැකගනිමින් ‘ඒ’ කණ්ඩයේ ශූරයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 40.2 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 201 ක් පමණක් බැවින් එංගලන්තයට ලකුණු 40 ක ජයක් හිමි විය.

වර්ෂාව නිසා තරගය නරත කරන විට බෙන් ස්ටොක්ස් නොදැවී 102 ක්ද, ජොස් බට්ලර් නොදැවී ලකුණු 29 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටි අතර පන්දු 109 කදී වාර්තා වූ ස්ටොක්ස්ගේ දෙවැනි එක්දින ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් අන්තර්ගත විය.

මුල් කඩුලු 3 ලකුණු 35 ක් තුළ බිඳවැටී තිබූ අවස්ථාවේදී එංගලන්ත කණ්ඩායම එම අසීරු තත්ත්වයෙන් ගොඩගත් බෙන් ස්ටොක්ස්, නායක ඔයින් මෝගන් (87) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 157 කදී ලකුණු 159 ක අනගි සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

ඇඩම් සම්පා විසින් දුවද්දී දවාගැනීමකට හසුකරගනු ලබද්දී පන්දු 81 කට මුහුණදී සිටි මෝගන් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් අලංකාර කර තිබිණ.  

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 277 ක් ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 5 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ට්‍රැවීස් හෙඞ් පන්දු 64 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඒරන් ෆින්ච් පන්දු 64 කදී ලකුණු 68 ක් රැස්කළ අතර ඔහුගේ 16 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. නායක ස්ටීවන් ස්මිත් (56) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 96 සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඒරන් ෆින්ච් සමත් වූ අතර පන්දු 77 කදී වාර්තා වූ ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.  

මාර්ක් වුඞ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 20 ක් ලබා සිටි ග්ලේන් මැක්ස්වෙල් ලබාදුන් පහසු උඩ පන්දුවක් ලයෑම් ප්ලන්කට් අතින් ගිළිහී ගියේය. එහෙත් ඉන් පන්දු දෙකකට පසු නැවතත් ග්ලේන් මැක්ස්වෙල් ගැසූ දැවන්ත පහරක් හයේ සීමාව අසලදී උඩ පන්දුවක් බවට පරිවර්ථනය කරගැනීමට විශිෂ්ට පන්දු රැකීමක නිතර වූ ජේසන් රෝයි සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ මාර්ක් වුඞ් සහ ආදිල් රෂීඞ් කඩුලු 4 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි පීඩනයකට පත්කළහ.

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 277
(ඬේවිඞ් වෝනර් 21, ඒරන් ෆින්ච් 68, ස්ටීවන් ස්මිත් 56, මොයිසස් හෙන්රිකස් 17, ට්‍රැවීස් හෙඞ් නොදැවී 71, ග්ලේන් මැක්ස්වෙල් 20, මාර්ක් වුඞ් 33/4, ආදිල් රෂීඞ් 41/4)

එංගලන්තය - ඕවර 40.2 කදී කඩුලු 4 ක් දැවී 240
(ජෝ රූට් 15, ඔයින් මෝගන් 87, බෙන් ස්ටොක්ස් නොදැවී 102, ජොස් බට්ලර් නොදැවී 29, ජොෂ් හෙසල්වුඞ් 50/2)

-036

 

 


අදහස් (0)

එංගලන්තය අපරාජිත බව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.