ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසුව නවසීලන්ත ක‍්‍රිකට් පිල සහභාගි වන පළමු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය එංගලන්තය සමගින් පැවැත්වේ. මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරගයකින් සමන්විත වේ.
දශක අටකට වැඩි ටෙස්ට් ඉතිහාසයකට උරුමකම් කියන නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික 100 වැනි ටෙස්ට් තරගය ලබන 21 වැනිදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලොව ටෙස්ට් වරම් හිමිවූ පස්වැනි රට ලෙස ඉතිහාසයට එකතුවන නවසීලන්ත පිල සහභාගි වූ මංගල ටෙස්ට් තරගාවලියම එංගලන්තය හමුවේ 2-0 ක පරාජයක් ලැබීය. ඒ 1929 වර්ෂයේ නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගාවලියයි.
එම ඓතිහාසික ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල හැරොඞ් ග්ලිගන් විසින් මෙහෙයවන ලද අතර නවසීලන්ත පිල ටොම් ලව්රි විසින් මෙහෙයවන ලදී. වසර 86 ක ඉතිහාසයකට උරුමකම් කියන නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේදී දෙපිල මුණ ගැසුන අවස්ථා 99 කදී එංගලන්තය 47 වතාවක් සහ නවසීලන්තය අට වතාවක් ජය ගෙන තිබේ. තරග 44 ක් විසඳුමකින් තොරව නිමාවට පත්විය. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලි 34 න් තරගාවලි 24 කම ජය එංගලන්තය සතුවෙද්දී නවසීලන්තයට ජය ගැනීමට හැකිවූයේ තරගාවලි 3 ක් පමණි.
100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවන්නේ නවසීලන්තයේ හිටපු සුපිරි පිතිකරුවකු වන ජෝන් රයිට්ය. 1978 වසරේ සිට 1982 දක්වා නවසීලන්ත පිල නියෝජනය කළ ජෝන් රයිට් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 23 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 7 ක් සමග ලකුණු 1518 ක් ලබා තිබේ.
දෙරට අතර ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව තිබෙන්නේ නවසීලන්තයේ බිහිවූ ලෝක පුජිත පන්දු යවන්නා වූ ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලිය. ඔහු 1975- වසරේ සිට 1990 දක්වා නවසීලන්ත පිල නියෝජනය කරමින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 21 කදී කඩුලූ 97 ක් දවා ගෙන තිබේ.
දෙරට අතර 35 වැනි ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර නවසීලන්ත පිල සමර්සෙට් සහ වෝර්වික්ෂයර්ස් කණ්ඩායම් සමග සිව්දින පුහුණු තරග දෙකකට සහභාගි විය. වෝර්වික්ෂයර්ස් කණ්ඩායම සමග පැවැති දෙවැනි සිව්දින පුහුණු තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 15 ක ජයක් ලබමින් ලබන 21 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා හොඳ පෙරහුරුවක් ලබා ගත්තේය.
එම පුහුණු තරගයේදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් දෙවැනි ඉනිමේදී ලකුණු 150 ක් ලබා ගැනීමට සමත් විය. ගප්ටිල් වසර දෙකකින් නවසීලන්ත ටෙස්ට් පිලට කැඳවීම විශේෂත්වයක් වේ. මාර්තු මස අවසන් වූ ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී කොදෙව් පිලට එරෙහිව ලකුණු 237 ක් ලබා ගැනීමට ගප්ටිල් සමත් වූ අතර එම දක්‍ෂතා පදනම්ව ඔහු යළිත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.
අවසන් වසර දෙකේදී නවසීලන්තය කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව නොසිටියත් එංගලන්තයට එරෙහිව වසර 16 කින් ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට අපොහොසත් වී තිබේ. කෙසේ වෙතත් වසර 16 කට පසුව ටෙස්ට් තරගාවලියකදී එංගලන්තය පරාජය කිරීමට සූදානම් වන නවසීලන්ත පිල නව නායකයකු යටතේ ටෙස්ට් තරගාවලියට සහභාගි වේ.
බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමත් සමග නවසීලන්ත ටෙස්ට් නායකත්වය 29 හැවිරිදි බ‍්‍රැඞ්ලි ජෝන් වොට්ලින්ට හිමිවිණි. බී. ජේ. වොට්ලින් යන කෙටි නාමයෙන් හඳුන්වන මොහු ටෙස්ට් තරග 29 කදී ශතක හතරක් සහ අර්ධ ශතක අටක් සමග ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 37.57 ක් ලෙස රඳවාගෙන තිබේ.
නවසීලන්තය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූයේ 2013 වසරේදීය. ඒ එංගලන්තය පිල හමුවේ තරග 2-0 කින් ලෙසිනි.
එතැන් සිට මේ දක්වා අපරාජිතව සිටින නවසීලන්තය වත්මන් ටෙස්ට් ශ්‍රේණිත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවේ. ප‍්‍රසාද ලකුණු 99 ක් ලබා සිටින නවසීලන්තය සමග ඉන්දියාවද ප‍්‍රසාද ලකුණු 99 ක් ලබා තිබේ. එංගලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 97 ක් සමග ටෙස්ට් ශ්‍රේණියේ පස්වැනි ස්ථානයට පත්ව තිබේ. ටෙස්ට් තරගවලදී එංගලන්තය හමුවේ නවසීලන්තය පසුබෑමකට ලක්ව සිටියද එක්දින තරගවලදී එංගලන්තය සමග කරට කර දක්‍ෂතා දැකවීමට නවසීලන්තය සමත්ව තිබේ. එහිදී දෙරට සහභාගි වූ එක්දින තරග 78 න් තරග 39 ක් නවසීලන්තය ජය ගනිදදී එංගලන්තය තරග 33 ක් ජය ගෙන තිබේ.
කෙසේ වෙතත් එංගලන්තය සහ නවසීලන්තය අතර ලබන 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී වැඩි පීඩනය එංගලන්ත කණ්ඩායම සතුවේ. දිගින් දිගටම අසාර්ථකව සිටින එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක්ට නායකත්වය සහ කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීමේ තරගාවලියක් ලෙසද මෙය හඳුන්වනු ලබයි.
එංගලන්ත පිලෙන් ඉවත් කර සිටින කෙවින් පීටර්සන් එරට ප‍්‍රාන්ත තරගවලදී විශිෂ්ට දක්‍ෂතා දැක්වුවද ජාතික කණ්ඩායමට එක් නොකිරීම පිළිබඳව එංගලන්ත ක‍්‍රීඩා ලෝලීන් සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් නොයෙක් මත පළ කරද්දීත් පීටර්සන් නොමැතිව එංගලන්තය මෙම තරගාවලියට සහභාගි වීමට තීරණය කිරීමද විවේචනය ලක්ව තිබේ.
එංගලන්ත සංචිතය
ඇලිස්ටයාර් කුක් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩ‍්‍රසන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල් , ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජෝස් බට්ලර්, ක‍්‍රිස් ජෝර්ඩන්, ඇඩම් ලෙන්, ජෝ රූට්, බෙන් ස්ට්‍රොක්ස්, මාර්ක් වුඞ්
නවසීලන්ත සංචිතය
බී.ජේ. වොට්ලින්ග් (නායක), කොරේ ඇන්ඩ‍්‍රසන්, ටේ‍්‍රන්ට් බෝල්ට්, ඩොග් බ‍්‍රැස්වෙල්, මාර්ක් ක්‍රෙග්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලෙතම්, බ්‍රෙන්ඩන් මැකලම්, ලූක් රොන්චි, හමීෂ් රදෆර්ඞ්, ටිම් සවුති, රෝස් ටේලර්, නීල් වෝග්නර්, කෙන් විලියම්සන්
තරග කාල සටහන
පළමු ටෙස්ට් තරගය : මැයි 21 සිට 25 දක්වා (ලෝඞ්ස්)
දෙවැනි ටෙස්ට් තරගය : මැයි 29 සිට ජුනි 2 දක්වා (හෙඩිංග්ලි)
පළමු එක්දින තරගය : ජුනි 9 වැනිදා (එඞ්බැස්ටන්)
දෙවැනි එක්දින තරගය : ජුනි 12 දා (කිංග්ස්ටන් ඕවල්)
තෙවැනි එක්දින තරගය : ජුනි 14 දා (රෝස් ටේලර්)
සිව්වැනි එක්දින තරගය : ජුනි 17 දා (ටේ‍්‍රන්ඞ් බ්‍රේජ්)
පස්වැනි එක්දින තරය : ජුනි 20 දා (රිවර් සයිඞ්)
විස්සයි විස්ස තරගය : ජුනි 23 දා ( ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.