Last Update  :  2025-06-01 22:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උමයංග - අෂේන් - දේෂාන් ජය ලබති
ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය

උමයංග - අෂේන් - දේෂාන් ජය ලබති

editorial - 2025 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ පස්වැනි දිනය වූ අද (16 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ජය ලබා දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ උමයංග මිහිරාන්, අෂේන් ෂෙහාර සහ දේෂාන් ජයසුන්දර සමත් වූහ. 

වයස 22 න් පහළ කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක උමයංග, දෙවැනි වටයට පිවිසියේ ලකුණු 4-1 ක් ලෙස කිරිගිස්ථාන ක්‍රීඩක ඒර්ගෂොව් බෙක්සාට් පරාජය කරමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන උමයංග, ඉකුත් වසරේ (2024) තායිලන්තයේ පැවැති ආසියානු බොක්සිං තරගාවලියේදී කි.ග්‍රෑ. 51 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකයාය. 

කිලෝ ග්‍රෑම් 54 බර පංතිය යටතේ තරග වැදුණු අෂේන් ෂෙහාර කරට කර තරගයකින් අනතුරුව ලකුණු 3-1 ක් ලෙස මැලේසියාවේ වාහිඩ් මොහොමඩ් රිසාල් පරාජය කරමින්ද, කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග වැදුණු දේෂාන් ජයසුන්දර ලකුණු 5-0 ක් ලෙස පිලිපීනයේ පෞලෙට් ඔසියර් මැටියො පරාජය කරමින්ද දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. 

ඊයේ දිනයේදී තරග වැදුණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ තෙනුවන් බණ්ඩාර කි.ග්‍රෑ. 57 බර පංතියේ මූලික වටයේ තරගයකදී කසකස්ථානයේ අනොර්බයෙව් හසුරබික් හමුවේද, මුදිත පාරිස් කි.ග්‍රෑ. 63.3 බර පංතියේ මූලික වටයේ තරගයකදී සවුදි අරාබියේ අල්හව්සව් මොවුසා හමුවේද පරාජයට පත්වීම හේතුවෙන් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ. 

හෙට දිනයේදී (17 වැනිදා) යොවුන් කාණ්ඩයේ මූලික වටයේ තරග 20 ක් පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන ජී.එස්.සී. වර්ණකුලසූරිය කි.ග්‍රෑ. 48 බර පංතියෙන්ද, ඒ.ඩබ්.ඒ. ජයතිස්ස කි.ග්‍රෑ. 57 බර පංතියෙන්ද, එම්.පී.ජී. මුතුගල (කාන්තා) කි.ග්‍රෑ. 48 බර පංතියෙන්ද, එන්.එස්. රහීම් (කාන්තා) කි.ග්‍රෑ. 52 බර පංතියෙන්ද තරග වැදීමට සූදානමින් සිටිති. 

එහිදී වර්ණකුලසූරියට එරෙහිව කසකස්ථානයේ කුමර්බෙකොව් නුර්ඛාන්ද, ජයතිස්සට එරෙහිව කසකස්ථානයේ නයිජමෙට් නයිජ්මාන්ද, මුතුගලට එරෙහිව ඉන්දියාවේ කුමාරි චන්චල්ද, රහීම්ට එරෙහිව කසකස්ථානයේ අබ්දුමෙසිටෝවා රඛ්මිනාද තරග වදිනු ඇත. 

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් සහභාගි වී සිටිති. වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. 


පස්වැනි දිනයේ තරග ප්‍රතිඵල 
කිලෝ ග්‍රෑම් 51 බර පංතිය 
උමයංග මිහිරාන් (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 4-1 ක් ලෙස ඒර්ගෂොව් බෙක්සාට් (කිරිගිස්ථානය) පරාජය කරන ලදි. 


කිලෝ ග්‍රෑම් 54 බර පංතිය 
අෂේන් ෂෙහාර (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 3-1 ක් ලෙස වාහිඩ් මොහොමඩ් රිසාල් (මැලේසියාව) පරාජය කරන ලදි. 


කිලෝ ග්‍රෑම් 57 බර පංතිය 
අල්දියාර් බඛදූර් (කසකස්ථානය) විසින් තෙනුවන් බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (විනිසුරු විසින් දෙවැනි වටයේදී තරගය නරත කිරීම හේතුවෙනි) 


කිලෝ ග්‍රෑම් 60 බර පංතිය 
දේෂාන් ජයසුන්දර (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 5-0 ක් ලෙස පෞලෙට් ඔසියර් මැටියො (පිලිපීනය) පරාජය කරන ලදි. 


කිලෝ ග්‍රෑම් 63.5 බර පංතිය 
අල්හව්සව් මොවුසා (සවුදි අරාබිය) විසින් මුදිත පාරිස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (විනිසුරු විසින් දෙවැනි වටයේදී තරගය නරත කිරීම හේතුවෙනි) 

 

අෂේන් ෂෙහාර 

 

දේෂාන් ජයසුන්දර

 

 

 


අදහස් (0)

උමයංග - අෂේන් - දේෂාන් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.