Last Update  :  2026-02-15 23:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය නායකයා අතට අතදීම ආයෙත් ප්‍රතික්ෂේප කරයි
විස්සයි-20 ලෝක කුසලාන

ඉන්දීය නායකයා අතට අතදීම ආයෙත් ප්‍රතික්ෂේප කරයි

editorial - 2026 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ඉන්දු - පාකිස්තාන ලෝක කුසලාන තරගයේදීත් කාසියේ වාසිය බැලූ අවස්ථාවේදී පාකිස්තානු නායක සල්මන් අලි අඝාට අතට අත දී සුබ පැතීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් මඟහැරියේය. කාසිය උඩ දැමීමේ අවස්ථාව ඉන්දීය නායකයාට හිමිවූ අතර ඔහු උඩ දැම්මේ එය පතිත විය යුතු නිල්පැහැ කවයෙන් ඉවතට යන පරිදිය. 

මෙම අවස්ථාවේදී සියලු දෙනාගේම අවධානය කාසිය වෙත යොමු වූයෙන් සිය ප්‍රතිවාදී නායකයාට අතට අත දී සුබ පැතීම මඟහැරීමට ඉන්දීය නායකයාට අවස්ථාව ලැබිණ. 

කෙසේ වෙතත් පාකිස්තානු නායක සල්මන් අඝා අතට අත දීම සඳහා බලාපොරොත්තු සහගතව සිටියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ඊයේ (14 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පාකිස්තානු නායකයා කියා සිටියේ ඉන්දීය නායකයාට අතට අත දී සුබපැතීමට තමන් පසුබට නොවන බවයි. 

“ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන්න ඕනෑ එහි ආත්මීය වටිනාකම් ආරක්‍ෂා වන විදිහටයි”
“මගේ පුද්ගලික මතය වැදගත් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන්න ඕනෑ එය හැමදාමත් කෙරෙමින් තිබුණු ආකාරයටයි. දැන් කරන්න ඕනා මොනවාද කියලා ඔවුන්ට (ඉන්දීය ක්‍රීඩකයන්ට) බාරයි” යයි සල්මන් අඝා සෙනසුරාදා පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

පාකිස්තානු නායකයා වැඩිදුරටත් කියා සිටියේ තමන් මෙන්ම තමන්ගේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉන්දියානුවන්ට අතට අත දී සුබපැතීමට සූදානමින් සිටින නමුත් අවසන් තීරණය ඇත්තේ ඉන්දියානුවන් අත බවයි. 

සෙනසුරාදා ම පැවැති ඉන්දීය පුවත් පත් සාකච්ඡාවේදී “පාකිස්තානු නායකයාට අතට අත දෙනවාද?” යන ප්‍රශ්නයට ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සෘජු පිළිතුරක් නොදී මඟ හැර ගියේය. 

“තව පැය 24 ක් බලා ඉම්මු” යයි සෙනසුරාදා වාර්තාකරුවන්ට කී සූර්යකුමාර් ක්‍රිකට් ක්‍රීඩාවේ ආදි කාලීන සම්ප්‍රදාය නැවත වරක් කඩ කළේය. තරගයකට පෙර කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී දෙපිලේ නායකයෝත්, තරගයෙන් පසුව දෙපිලේම ක්‍රීඩකයෝත් එකිනෙකාට අතට අත දී සුබ පැතීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආදි කාලීන සම්ප්‍රදායකි. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානු නායකයාට අතට අත දී සුබපැතීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශයේදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දීය - පාකිස්තානු දේශපාලන එදිරිවාදිකම් ක්‍රිකට් පිටියටත් පැතිර ගියේය. 

ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේදීත්, පසුගිය මාසයේදී පැවැති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදීත් පාකිස්තානු නායකයන්ට අතට අත දීම ඉන්දියානුවෝ ප්‍රතික්ෂේප කළහ. 

 


අදහස් (0)

ඉන්දීය නායකයා අතට අතදීම ආයෙත් ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.