Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියානුවන්ට හොඳ පිළිතුරක්
බෝඩර් - ගවස්කාර් කුසලාන

ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියානුවන්ට හොඳ පිළිතුරක්

editorial - 2023 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අලංකාර ශතකයක් ලබාගත් ෂුබ්මන් ගිල් (128) සහ විරාට් කෝලි (නොදැවී 59) එක්ව ඉනිම ගොඩනැංවූ බැවින් අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (11 වැනිදා) ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාවට හොඳ පිළිතුරක් දුන්හ. දිගින් දිගටම පන්දු යවමින් සිටි ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් හමුවේ යටත් නොවූ ඉන්දීය පිතිකරුවෝ අද දිනය නිමාවේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 289 ක් ලබාගත්හ.
 
ඕස්ට්‍රේලියානුවන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 480 ට වඩා ලකුණු 191 ක් පසුපසින් සිටින නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පිතිහරඹයට යාමේ අවදානමෙන් ඉන්දියානුවෝ මිදී සිටිති.

ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් සහ චෙටේස්වාර් පුජාරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 113 ක සම්බන්ධතාවට ස්තුති කරමින් හිස් ඔසවාගත් ඉන්දියානුවෝ, පුජාරා දැවී ගියත් තම ග්‍රහණය ලිහිල් නොකළහ. පුජාරාගෙන් පසුව පිටියට පිවිසි විරාට් කෝලි සහ ගිල් අතර පැවැති සම්බන්ධතාව ලකුණු 58 කි.

ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් තිදෙනා වූ නේතන් ලයන්, මැතිව් කුනේමන් සහ ටොඩ් මර්ෆි කඩුල්ලක් බැගින් දවාගත්තද ඉන්දීය පිතිකරුවෝ තරගයේ ග්‍රහණය රඳවාගෙන සිටිති.

දෙවැනි නව පන්දුව ලබාගැනීම ඕවර 14 ක් දක්වා ප්‍රමාද කළ නමුත් එයින් ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූ ප්‍රයෝජනයක් නැත.

ලෝකේෂ් රාහුල් වෙනුවට කණ්ඩායමට එක්වූ 23 හැවිරිදි ෂුබ්මන් ගිල්, තම හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් එය අලංකාර කළේය. මාස 14 කට පසුව, සිය පළමු වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලිට පළමු ලකුණ ලබාගනීම සඳහා පන්දු 12 කට මුහුණ දීමට සිදුවිය.

අහමදාබාද් නුවර පවතින අධික උණුසුම හේතුවෙන්, ඕස්ට්‍රේලියානු පිලේ තාවකාලික නායක ස්ටීවන් ස්මිත් තම පන්දු යවන්නන් වරින් වර මාරු කළ නමුත් පන්දු යවන්නෝ ඉන්දීය පිතිකරුවන්ට බුරුළක් නොදුන්හ. නොනවත්වාම තමන්ගේ පන්දු යැවීමේ රිද්මය රඳවාගත් දඟ පන්දු යවන්නෝ තිදෙනා, නියමිත ඉලක්කයට පන්දු යවමින්, රිසි සේ ලකුණු කරා යාමේ අවස්ථාව ඉන්දියානුවන්ට නොදී සිටියහ.

බෝඩර් - ගවස්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරග තුනම ඉතාමත් තියුණු අන්දමින් දඟ කැවෙන තණතීරු මත පැවැති නමුත් අහමදාබාද් තණතීරුව ඒවාට බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගෙන තිබේ. දින තුනක් නිමා වුවද, තවමත් දැවී ගොස් ඇත්තේ කඩුලු 13 කි. තණතීරුව පිතිකරුවන්ට තවමත් යෝග්‍ය තත්ත්වයක තිබේ.

පළමු තරග දෙක ජයගත් ඕස්ට්‍රේලියානුවෝ 2-1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 480 යි
(ට්‍රැවිස් හෙඩ් 32, උස්මන් කවාජා 180, ස්ටීවන් ස්මිත් 38, පීටර් හැන්ඩ්ස්කොම්බ් 17, කැමරන් ග්‍රීන් 114, නේදන් ලයන් 34, ටොඩ් මර්ෆි 41, මොහොමඩ් ශාමි 134/2, රවිචන්ද්‍රන් අශ්වින් 91/6)

ඉන්දියාව - පළමු ඉනිම කිසිවකු නොදැවී 36 යි
(රෝහිත් ෂර්මා 35, ෂුබ්මන් ගිල් 128, චෙටේස්වාර් පුජාරා 42, විරාට් කෝලි නොදැවී 59, රවීන්ද්‍ර ජදේජා නොදැවී 16, නේතන් ලයන් 75/1, මැතිව් කුනේමන් 43/1, ටොඩ් මර්ෆි 45/1)

- 213

 


අදහස් (0)

ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියානුවන්ට හොඳ පිළිතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.