Last Update  :  2026-02-10 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්තානු රජය කැමැත්ත පළකරයි
විස්සයි-20 ලෝක කුසලාන

ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්තානු රජය කැමැත්ත පළකරයි

editorial - 2026 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ඉරිදා (15 වැනිදා) ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගය සඳහා පිටියට පිවිසෙන්න’යි පාකිස්තානු රජය පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී තිබේ. සඳුඳාා (9 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී පාකිස්තානු කණ්ඩායමට කරන ලද මෙම දැනුම්දීම “බුද්ධිමත්” මෙන්ම “ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත” වෙනුවෙන් ගන්නා ලද තීරණයක් ලෙසින් හැඳින්වේ. 

සඳුදා රාත්‍රියේ ඉස්ලාමාබාද් නුවරදී පකිස්ථානු රජය විසින් ගන්නා ලද මෙම තීරණය නිසා 15 වැනිදා තරගය සම්බන්ධයෙන් සතියක කාලයක් පුරා පැවති අවිනිශ්චිතතාව නැතිව ගියේය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානීන් පසුගිය ඉරිදා ලාහෝරය බලා පියාසර කළහ. සඳුදා පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පාකිස්තානු රජයට දැනුම් දෙන ලදි. ඉන් අනතුරුව පාකිස්තානු රජය විසින් “තරගයට සහභාගි වෙන්න” යි පාකිස්තානු කණ්ඩායමට අවසර දුන්නේය. 

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා රජයන් දෙකම පාකිස්තානු රජයට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ 15 වැනිදා තරගයට සහභාගි වීමට පාකිස්තානු කණ්ඩායමට අවසර දෙන ලෙසයි. සඳුදා මධ්‍යම රාත්‍රියට මඳ වේලාවකට පෙර පාකිස්තානු රජයේ නිවේදනය නිකුත් කෙරිණ. 

“බහුපාර්ශ්වික සාකච්ඡාවලින් මෙන්ම මිත්‍රශීලී රටවල ඉල්ලීම් ද සලකා බැලීමෙන් පසුව, පෙබරවාරි 15 වැනිදා පිටියට පිවිසෙන ලෙස පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙයින් නියෝග කෙරේ” යයි ඉස්ලාමාබාද් රජය සඳුදා රාත්‍රියේ සිය නිල එක්ස් ගිණුමේ සටහන් කළේය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මීය වටිනාකම් ආරක්ෂා කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වන සියලුම ජාතීන් අතරේ මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වීම සඳහා මෙම තීරණය ගෙන ඇත” යන්න ද එහි වැඩිදුරටත් සඳහන් විය.

බොහෝ ඉල්ලීම් කෙරුණ නමුත් “ඉන්දියාව සමග තරග කරන්නේ නෑ” යන්න පාකිස්තානු රජයේ දැඩි ස්ථාවරය විය. පාකිස්තානු නායක සල්මන් අඝා මාධ්‍ය හමුවේදී කියා සිටියේ “ඒක රජයේ තීරණයක්. අපි රජයේ තීරණයට හිස නමනවා” යනුවෙනි. 

කෙසේ වෙතත් මෙම තරගයේ දැවැන්ත මූල්‍යමය වටිනාකම හේතුවෙන් තරගය අතහැර දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට නොහැකි විය. එබැවින් විවිධ උපක්‍රම භාවිතා කරමින්, විවිධ පාර්ශ්වයන් කරා අවතීර්ණ වෙමින්, මෙම තරගය සඳහා පාකිස්තානු රජයේ කැමැත්ත ලබාගැනීමට අන්තර්ජාති ක්‍රිකට් සභාව බලවත් වෙහෙසක් ගත්තේය. 

“ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගි වීම පිළිබඳ නැවත සලකා බලන්න”යි ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යැවීය. 15 වැනිදා තරගයේ සත්කාරකයන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගයෙන් අති විශාල ලාභයක් ලබාගන්නා එක් පාර්ශ්වයකි. 

තරගය පැවැත්වෙන අතරවාරයේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්, රූපවාහිනී අයිතිවාසිකම් සහ අනුග්‍රාහකයන්ගේ දැන්වීම් ආදියේ ආදායම අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත යන නමුත් එයින් ‘ශ්‍රී ලංකාවේ පංගුව’ වෙන් කෙරෙනු ඇත. අනෙක් අතට මෙම තරගය පැවැත්වෙන්නේ නම් එය නැරඹීම සඳහා 40,000 කට ආසන්න විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන්ගේ නවාතැන්, ආහාර පාන සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක ශුද්ධ ආදායමක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇත. 

අවසානයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයන් ලාහෝර් නුවරට යවන ලදි. 

තරගයට කැමැත්ත පළකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පාකිස්තානු අගමැති ෂෙබාස් ශරීෆ් මහතාට ස්තුතිය පළකරමින් සිය සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් පළකර තිබිණ. 

“අප සියලු දෙනාම ඉතාමත් කුතුහලයෙන් බලාපොරොත්තුව සිටි ඉන්දියාව සහ පාකිස්තානය අතර විස්සයි-20 ලෝක කුසලාන තරගය, සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ඉමහත් සතුටට කාරණාවක්” යයි අනුර කුමාර දිසානායක මහතාගේ පණිවුඩයේ සටහන් විය. 

දේශපාලන ප්‍රතිවාදීන් වන පාකිස්තානය සහ ඉන්දියාව දශකයකට වැඩි කාලයක් ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වී නැත. ඔවුන් ගෝලීය හෝ කලාපීය තරඟාවලදී පමණක් හමුවී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම තරග පැවැත්වෙන් මධ්‍යස්ථ භූමියකදිය. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රිකට් ලෝකයේ දැවැන්ත තරගාවලියක් වන නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන එදිරිවාදිකම් වලින් ලෝක කුසලාන තරගාවලිය දැඩි අන්ධකාරකයට ලක්වී තිබිණ. අවසානයේදී බංග්ලාදේශය ද වක්‍ර මාර්ගයෙන් මෙම එදිරිවාදිකම් අතරට එක්විය. 

ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් කරගන්නා ලදි. 

15 වැනිදා කොළඹදී පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේ නම් පාකිස්තානයට අහිමි වන්නේ ප්‍රසාද ලකුණු 2 පමණක් නොවේ. ලෝක කුසලාන තරගාවලියේ ආදායමෙන් පාකිස්තානයට හිමිවිය යුතු විශාල මුදල් සම්භාරයක් ද පාකිස්තානයට අහිමි වීමට ඉඩ තිබිණ. ඇතැම් විට, (නීති කටයුතු වලින් පසුව) මූල්‍යමය දඩයකට පවා යටත්වීමට සිදුවිය හැකිව තිබිණ. 

ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පසුගිය සිකුරාදා පැවසුවේ 15 වැනිදා තරගය පැවැත්වුවත් නැතත්, තමන්ගේ කණ්ඩායම එම තරගයට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් කොළඹ බලා යන බවයි. 

“ඒ ගොල්ලන් එක්ක ක්‍රීඩා කරන්න එපා කියලා අපට කියලා නැහැ” 

“අපි අපේ ගුවන් ගමන් වෙන්කරවාගෙන තියෙනවා....අපි කොළඹට යනවා..... යයි” සූර්යකුමාර් යාදව් පැවසීය. 


අදහස් (0)

ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්තානු රජය කැමැත්ත පළකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.