
(දමින්ද විජේසූරිය)
හෙට (15) වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඉන්දීය නායකයාට අතට අත දී සුබපැතීමට තමන් පසුබට නොවන බව පාකිස්තානු නායක සල්මන් අඝා කියයි. ඉන්දු - පාකිස්තාන් තරගයට පෙර, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පාකිස්තානු නායකයා එසේ කියා සිටියේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානු නායකයාට අතට අත දී සුබපැතීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශයේදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දීය - පාකිස්තානු එදිරිවාදිකම් ක්‍රිකට් පිටියටත් පැතිර ගියේය.
තරගයකට පෙර කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී දෙපිලේ නායකයෝත්, තරගයෙන් පසුව දෙපිලේම ක්‍රීඩකයෝත් එකිනෙකාට අතට අත දී සුබ පැතීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආදි කාලීන සම්ප්‍රදායකි. කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සකාච්ඡාවේදී පාකිස්තානු නායකයා වැඩිදුරටත් කියා සිටියේ තමන් මෙන්ම තමන්ගේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉන්දියානුවන්ට අතට අත දී සුබපැතීමට සූදානමින් සිටින නමුත් අවසන් තීරණය ඇත්තේ ඉන්දියානුවන් අත බවයි.
“ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන්න ඕනෑ එහි ආත්මීය වටිනාකම් ආරක්‍ෂා වන විදිහටයි”
“මගේ පුද්ගලික මතය වැදගත් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන්න ඕනෑ එය හැමදාමත් කෙරෙමින් තිබුණු ආකාරයටයි. දැන් කරන්න ඕනා මොනවාද කියලා ඔවුන්ට (ඉන්දීය ක්‍රීඩකයන්ට) බාරයි” යයි සල්මන් අඝා පැවසීය.
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පසුව නිවේදනය කළේ ආසියානු කුසලාන මූලික වටයේ තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී අතට අත දීමට ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සූදානම් නැති බව තරගය ආරම්භ වීමට පෙරම සල්මන් අඝාව පසෙකට කැඳවූ තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා විසින් දැනුම් දෙන ලද බවයි. පසුව පාකිස්තානුවන් ආසියානු කුසලාන තරගාවලිය වර්ජනය කිරීමට සූදානම් විය. කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොසින් නක්වි මහතා සහ ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා අතර පැවැති සාකච්ඡා වලින් පසුව පාකිස්තානුවෝ ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වූහ.
ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේදීත්, පසුගිය මාසයේදී පැවැති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදීත් පාකිස්තානු නායකයන්ට අතට අත දීම ඉන්දියානුවෝ ප්‍රතික්ෂේප කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.