Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දිකට රිදී - චමරිට ලෝකඩ පදක්කම්

ඉන්දිකට රිදී - චමරිට ලෝකඩ පදක්කම්

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පුනේ නගරයේදී පසුගිය වසරේ (2015) ඔක්තෝබර් මස පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 69 බර පංතියේ (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ඉන්දික දිසානායකට රිදී පදක්කම පිරිනැමමීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ කමිටුව පියවර ගෙන තිබේ.


ඉන්දිකට පමණක් නොව එම තරගාවලියේ කාන්තා අංශයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි වර්ණකුලසුරියටද ලෝකඩ පදක්කම ලබාදීමට සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.


ඉන්දික, තරග වැදුණු බර පංතියේ රිදී පදක්කම දිනා සිටි මැලේසියානු ක්‍රීඩකයා තහනම් උත්තේජක ලබා ගැනීමේ වරදට හසුවීමෙන් ඔහු හිමිකර ගත් රිදී පදක්කම අහිමිව ගොස් තිබේ. මේ නිසා එම තරගාවලියේදී ලෝකඩ පදක්කම හිමිකරගත් ක්‍රීඩක ඉන්දිකට රිදී පදක්කම ලබාදීමට තරග සංවිධායකයන් කටයුතු යොදා ඇත. සිවුවැනි ස්ථානය ලබා සිටි ඉන්දීය ක්‍රීඩකයාට ලෝකඩ පදක්කම හිමිවේ.


මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් අජිත් තමෙල් මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ ඉන්දිකට රිදී පදක්කම හිමිවීම ස්ථිර බවයි.


ඉන්දික, 2009 සහ 2013 වසරවල පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිවලදී ද රිදී පදක්කම් දෙකක් දිනා තිබේ. මෙම වසරේ පෙබරවාරී මස ඉන්දියාවේ පැවැති 12 වැනි ඇසෑම් සාග් ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී ඉන්දික දිනා ගත්තේ රිදී පදක්කමයි.


චමරි වර්ණකුලසුරිය කිලෝග්‍රැම් 53 බර පංතියෙන් (කාන්තා) සිවුවැනි ස්ථානය ලැබුවාය. මෙහි ලෝකඩ පදක්කම හිමිකර ගත් ඉන්දීය ක්‍රීඩිකාව ද තහනම් උත්තේජක ගෙන තරග කිරීමේ වරදට හසුවීම නිසා ඇයටද පදක්කම අහිමිව ඇත.


චමරි, ඇසෑම් සාග් ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුවාය.  

 


අදහස් (0)

ඉන්දිකට රිදී - චමරිට ලෝකඩ පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.