Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට..)
ආසියානු කුසලාන තරගාවලියේ තවත් තීර්ණාත්මක තරගයක් අද (30 වැනිදා) ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම තරගය ජයගැනීමට ඇෆ්ඝනිස්ථානය සමත් වුවහොත් ඔවුන් ‘බී’ කාණ්ඩයේ ශුරයන් ලෙස සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා පමණක් නොව, ශ්‍රී ලංකාවට එම වටයට පිවිසීම කෙරෙහි ඇති බලාපොරොත්තුද ඉහළ යනු ඇත.
එම තරගයේදී බංග්ලාදේශය හමුවේ ඇෆ්ඝනිස්ථානය පරාජයට පත්වුව හොත් ශ්‍රී ලංකාවට සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා අල්ප වනු ඇත. එසේ වුවහොත් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීම සඳහා සැප්තැම්බර් මස 1 වැනිදා පැවැත්වෙන තරගයේදී ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවා ගනිමින් බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
කෙසේ වුවත් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඇෆ්ඝනිස්ථානය හමුවේ ලැබූ කඩුලු 8 ක පරාජය හේතුවෙන් ‘බී’ කාණ්ඩයේ පතුලටම වැටී ඇති ශ්‍රී ලංකාව, මේ වන විට ලබා සිටින ශුද්ධ ලකුණු වේගය -5.176 කි. එබැවින් ඇෆ්ඝනිස්ථාන - බංග්ලාදේශ තරගයේ ජය බංග්ලාදේශය සතුවුව හොත් ශ්‍රී ලංකාවට සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම අතිශය අසීරු කාර්යයක් වනු ඇත.
අවසන් වරට 2018 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාවට ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් නොළබා මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. එහි තවත් ප්‍රතිඵලයක් ලෙස එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉවත්වීමටද සිදුවිය.
විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරග 8 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 5 ක් ජයගැනීමට ඇෆ්ඝනිස්ථානයද, 3 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ. කෙසේ වුවත් ඉන් අවසන් වරට පැවැති තරග 4 දී දෙපිලම ජයග්‍රහණය 2 බැගින් ලබා සිටීම හේතුවෙන් අද තරගයේදී කණ්ඩායම් දෙක අතර වඩාත් තියුණු තරගයක් දැකගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය පරාජය කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් වූ නමුත් එහි සුපිරි 4 දෙනාගේ වටයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය. කෙසේ වුවත් එවර තරගාවලිය ඕවර 50 තරග රටාවට අනුව පැවැති තරගාවලියක් වූ බැවින් මෙම තරගාවලිය සමග සන්සන්දනය කිරීම එතරම් සාධාරණ නොවනු ඇත.
බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් අද තම ක්‍රිඩා දිවියේ 100 වැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර සුළු ආබාධයකට ලක්ව සිටි මුස්තෆිසුර් රහමන් යළිත් කණ්ඩායමට එක්ව සිටීම බංග්ලාදේශ කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරනු ඇත. කෙසේ වුවත් අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවන් වන ටමීම් ඉක්බාල් සහ ලිටන් දාස් නොමැති අඩුව අද තරගයේදී බංග්ලාදේශයට තදින්ම දැනෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම බොහෝ දුරට කිසිදු වෙනස්කමකින් තොරව අද තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.