Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇමරිකානු ඩොලර් හිඟය උග්‍රවීමෙන් මල්ලවපොර කණ්ඩායම අමාරුවේ

ඇමරිකානු ඩොලර් හිඟය උග්‍රවීමෙන් මල්ලවපොර කණ්ඩායම අමාරුවේ

editorial - 2021 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ උද්ගතව තිබෙන ඇමරිකානු ඩොලර් හිඟය හේතුවෙන් ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ගාස්තු ගෙවාගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වනවිටත් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ගිණුමට බැර වී තිබේ. එසේ වුවත් එය ඇමරිකානු ඩොලර් වලින් ඔස්ලෝ තරග සංවිධායකයන්ගේ ගිණුමට යොමු කළ යුතුව තිබේ. එහෙත් අදාළ බැංකුව දැනුම්දී ඇත්තේ ලබන ඔක්තෝබර් 1 වැනිදා වනතෙක් එය ඉටු කිරීමේ අපහසුතා පැන නැගී තිබෙන බවයි.

ඊට හේතුව බවට පත්ව ඇත්තේ දැනට රට තුළ පවතින විදෙස් විනිමය හිඟයයි.

ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් 5,500 ක් ලෝක සම්මේලනයට ගෙවිය යුතුව තිබේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 12 කි.

“අපිට තිබෙන ප්‍රශ්නය ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟාවීමට පෙර මේ මුදල් ඔවුන් වෙත යොමු කළ යුතු වීමයි. ඒ දින පැන්නොත් අපට තරගාවලියට සහභාගිවීමේදී ගැටළු පැනනැගිය හැකියි. අපි උත්සාහ කරන්නේ අඩු තරමින් ලබන බදාදා (29) වන විටවත් තරග සංවිධායකයන්ට ගෙවීම් කිරීමටයි. “ යයි ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා  පැවසීය.

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වීමේ ගාස්තු අනිද්දාට පෙර (29) තමන් වෙත යොමු කරන ලෙස ඔස්ලෝ තරග සංවිධායකයන් ශ්‍රී ලංකාවේ මල්ලවපොර සම්මේලනයට දැනුම් දී තිබේ.  ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ඔක්තෝබර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වා නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පැවැත්වේ.

මල්ලවපොර ලෝකශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගේ ශ්‍රී ලංකා කණ්ඩායමක් සූදානම් කර තිබෙන අතර ඊට පුහුණුකරුවකු හා කළමනාකරුවෙකුද ඇතුළත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම පෞද්ගලිකව වියදම් සොයා ගනිමින් තරග සංචාරයට සහභාගි වෙති.  මේ අතර ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ලෝක මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානින්ගෙන් කළ ඉල්ලීමක් අනුව ශ්‍රිී ලංකාවේ ක්‍රීඩකයකුට සහ ක්‍රීඩිකාවකට පමණක් තරගාවලියේ රැඳී සිටින දින කීපයක් සඳහා නවාතැන් පහසුකම් සළසාදීමට සංවිධායකයන් කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙකු සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයකට රුපියල් 2,20,000කට ආසන්න මුදලක් වැයවී තිබේ. මේ වන විට සියලුම ගුවන් ප්‍රවේශපත් වෙන්කර අවසානය.

තරගාවලිය නිමා වී නැවතත් දිවයිනට පැමිණෙන බවට ස්ථිර කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් රුපියල් ලක්ෂ 10 ක් බැගින් වන ඇප බැඳුම්කරයකට අත්සන් තැබිය යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට දැනුම්දී තිබේ.  ආපසු පැමිණ දින 10ක් ඇතුළත ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කළයුතු බවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාද දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයකු වන විමල් එස්.කේ. ලියනගම මහතා මල්ලවපොර සම්මේලනයට ලිඛිතව දැනුම් දී තිබේ.

 


අදහස් (0)

ඇමරිකානු ඩොලර් හිඟය උග්‍රවීමෙන් මල්ලවපොර කණ්ඩායම අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.