Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ජි අයි‍යාගේ අත්දැකීම් ජයග්‍රහණයට මඟපෑදුවා
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඇන්ජි අයි‍යාගේ අත්දැකීම් ජයග්‍රහණයට මඟපෑදුවා

editorial - 2023 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සිට..)

එංගලන්තයට එරෙහිව ඊයේ (26 වැනිදා) බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්දැකීම් බෙහෙවින්ම ඉවහල් වූ බව පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජොනී බෙයාස්ටෝ (30) සහ ඩේවිඩ් මැලන් (28) මුල් ඕවර 6 තුළ ලකුණු 44 ක් රැස්කරමින් එංගලන්තය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නමුත්, 7 වැනි ඕවරය යැවීම සඳහා කැඳවූ මැතිව්ස් එහි තෙවැනි පන්දුවේදී මැලන් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට අවතීර්ණ වීම සඳහා අවස්ථාව උදා කර දුන්නේය. ඉන් පන්දු 18 කට පසුව දක්ෂ පන්දු රැකීමකින් සහ දක්ෂ පන්දු යොමු කිරීමකින් ජෝ රූට් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමටද මැතිව්ස් සමත් විය.

“මුල් ඕවර කිහිපයෙදි අපිට පන්දු යැවිය යුතු එල්ල මඟ හැරුණා නිසා අපේ අතින් ලකුණු ගියා. ඒත් ඇන්ජි අයියා පන්දු යවන්න ආවට පස්සෙ එයා කළේ අත්දැකීම් පාවිච්චි කරලා පන්දු යවපු එල්ලය ටිකක් පස්සට ගන්ත එක. ඊට පස්සෙ අනිත් අයත් ඒකම කළා. ළහිරු පන්දු යවන්න ආවාම අපි එයාටත් කිව්‍වේ ඒකම කරන්න කියලා. මොකද ඇන්ජි අයියා දාපු විධිහෙන් එයා සාර්ථක ‍වුණා අපි දැක්කා.” යැයි තීක්ෂණ පැවසීය.

මැතිව්ස්ගේ අඩි පාරේම ගිය ළහිරු කුමාර, පන්දු යැවීමේ එල්ලය වෙනස් කරමින් වේගය සහ ඉපිලීම ප්‍රයෝජනයට ගෙන 15 වැනි සහ 17 වැනි ඕවරවලදී ජොස් බට්ලර් (8) සහ ලයෑම් ලිවිංග්ස්ටන් (1) පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඉන් නොනැවතුණ ළහිරු, එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි බෙන් ස්ටෝක්ස්ගේ (43) කඩුල්ලද දවාගනිමින් තරගයේ වීරයා බවටද පත් විය.

“ළහිරු කණ්ඩායමට ආවෙ ආබාධයකින් සුවය ලබලා. කළින් තරගයේදි ඔහුට සුපුරුදු දස්කම් අතරට එන්න බැරිවුණා. ඒත් මේ තරගයෙදි ඔහු වැරදි හදාගෙන ඉතාමත් හොඳින් පන්දු යැව්වා. පන්දු යවන්නො වුණාම එහෙම තමයි. සමහර දවස්වල පහර වදිනවා. ඒත් වැදගත් වෙන්නේ ඉක්මනින්ම වැරදි හදාගෙන ආයෙමත් දස්කම් අතරට එන එක. මේ තරගෙදි ළහිරු ඒක කරලා පෙන්නුවා.” යැයි තීක්ෂණ කියා සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලි‍යේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ මුල් තරග 4 ට සාපේක්ෂව මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක තිබිණ. හතරේ සීමාව අසලදී මෙන්ම යාර තිහේ සීමාව තුළදීද ‍හොඳින් පන්දු රකිමින් කණ්ඩායමට ලකුණු ඉතිරිකර දුන් ශ්‍රී ලංකා පන්දු රකින්නෝ, එහිදී දක්ෂ ලෙස උඩ පන්දු කිහිපයක්ද රැකගැනීමට සමත් වූහ. ක්‍රිස් වෝක්ස් දවාගැනීම සඳහා බැක්වඩ් පොයින්ට් කළාපයේ සිට සදීර සමරවික්‍රම රැකගත් උඩපන්දුව ප්‍රධාන තැනක් ගත්තේය.

“කණ්ඩායමක් විදියට අපි හැමතිස්සෙම පන්දු රැකීම අංක එකට තියාගෙන හිටියා. ඒත් පහුගිය තරගවලිදි අපේ අතින් පොඩි පොඩි මඟහැරීම් වුණා. ඒ නිසා අපේ අතින් ලකුණු ගියා. එතකොට පන්දු යවන්නන්ටත් පීඩනයක් වැටුණා. ඒත් මේ තරගයදි මුල් ඕවර 10 ඇතුළත කඩුලු දෙක තුනක් දවාගන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා පන්දුව යාර තිහේ සීමාවෙන් පිටට යන්න දෙන්නෙ නැතුව තවත් ඔවුන්ව පීඩනයට පත්කරලා ඉක්මනින් කඩුලු දවාගන්න තමයි අපි උත්සාහක කළේ.” යැයිද තීක්ෂණ සඳහන් කළේය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ


අදහස් (0)

ඇන්ජි අයි‍යාගේ අත්දැකීම් ජයග්‍රහණයට මඟපෑදුවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.