Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු කුසලානට කෝඩුකාරයෝ තිදෙනෙක්

ආසියානු කුසලානට කෝඩුකාරයෝ තිදෙනෙක්

editorial - 2022 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙම මස 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති යොවුන් ක්‍රීඩකයෝ තිදෙනෙක් ඇතුළත්ව සිටියි. ඉදිරිපෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දු, වමතින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක සහ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ක්‍රීඩකයෝ වෙති. 

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවකු වන 22 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වයස 19 න් පහළ, ශ්‍රී ලංකා ‘ඒ’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම් නියෝජනය කර ඇත. අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඔහු, විස්සයි-20 තරග 25 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 549 කි. එහිදී 122 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන සිටින නුවනිඳුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 27.45 කි. 

හුංගම විජයබාහු මැදි විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දිල්ෂාන් මධුෂංක මේ වන විට 21 වැනි වියේ පසුවේ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කර ඇති ඔහු අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. විස්සයි-20 තරග 8 කදී කඩුලු 7 ක් බිඳහෙළීමට දිල්ෂාන් සමත්ව ඇත්තේ 25.28 ක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යයක් රඳවාගනිමිනි. මෙම මස මුලදී පැවැති ආරාධිත විස්සයි-20 ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමටද දිල්ෂාන් සමත් විය. 

මහනුරව ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවකු වන මතීෂ පතිරණ, තවමත් 19 වැනි වියේ පසුවන නමුත් අවසන් වරට පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දැරූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති ඔහු අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. විස්සයි-20 තරග 9 කදී 26.57 ක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යයක් රඳවාගනිමින් මතීෂ බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 7 කි. 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ සංචිතයට ඇතුළත්ව සිටියද, විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් වේග පන්දු යවන්නන් වන බිනුර ප්‍රනාන්දුට සහ කසුන් රාජිතට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට අසිත ප්‍රනාන්දුගේ සහ ප්‍රමෝද් මධුෂාන්ගේ නම් අනුමැතිය අමාත්‍යවරයා වෙත සඳහා යවා තිබේ. දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වයද තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වයද අවිනිෂ්චිත තත්ත්වයක පවතී. 

ශ්‍රී ලංකා සංචිතය 
දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීණ් ජයවික්‍රම, චාමික කරුණාරන්ත, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් 

 


අදහස් (0)

ආසියානු කුසලානට කෝඩුකාරයෝ තිදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.