Last Update  :  2026-02-20 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආධුනික පිරිමි ශූරයන්ට තිළිණ ප්‍රදානය විමර්ශනයෙන් පසුව

ආධුනික පිරිමි ශූරයන්ට තිළිණ ප්‍රදානය විමර්ශනයෙන් පසුව

editorial - 2026 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුපර් ලීග් පිරිමි ශූරතාව දිනූ යුද හමුදා කණ්ඩායම 

නාමල් පතිරගේ

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී නිමාවට පත්වූ මංචි කුසලාන ජාතික ශූරතා වොලිබෝල් තරගමාලාවේ ආධුනික (බී) කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනූ කණ්ඩායමට ජය සංකේත ප්‍රදානය ක්‍රීඩා අමාත්‍යාංශයේ විමර්ශනයෙන් පසුව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද සෙනරත් බන්ඩාර මහතා පවසයි.

 එහි අවසන්  මහ තරගය සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැති අතර එහි වට 3-2 ක තියුණු ජයක් හිමිවූයේ හලාවත ෆාහිම් කණ්ඩායම පරාජයට පත් කළ රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමටයි. එහෙත් එහි නිල ප්‍රතිඵලය හා කුසලාන ප්‍රදානය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව වොලිබෝල් සම්මේලනය කටයුතු කරන බව ඔහු  පැවැසීය.

පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයා වෙත ගොනු කර තිබෙන විරෝධතාවක් විමර්ශනයට ගෙන අවසන් වන තුරු එම උපදෙස් ක්‍රියාත්මක වන බවත් මහින්ද බන්ඩාර මහතා එහිදී පැවසීය. තරගාවලියේ අවසන් පූර්ව තරගය ජය ගත් පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදී ෆාහිම් ජෙම්ස් කණ්ඩායම ගොනු කළ විරෝධතාවක් ජය ගැනීමෙන් පසුව ආධුනික (පිරිමි) කාණ්ඩයේ අවසන් මහ තරගයේ අවස්ථාව ඔවුන්ට පිරිණැමුණි.

ඊට එරෙහිව ලකී සික්ස් කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාට භාර දුන් අභියාචනාව විභාග කර අවසන් වනතුරු මෙසේ ආධුනික (පිරිමි) කාණ්ඩයේ ශූරතාව ප්‍රදානය අත්හිටුවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් නිකුත් කිරීම මෙම  තීරණයට හේතු විය.

ඒ අතර ලකී සික්ස් කණ්ඩායම මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ වෙනම නඩුවක්ද ගොනු කර තිබුණි.

මේ අතර තරගමාලාවේ සුපර් ලීග්  (පිරිමි) අවසන් මහ තරගය වට 3 - 1 කට ( 25/15 - 28/30 - 25/13 - 25/18 කට ජය ගත් යුද හමුදා කණ්ඩායම වසර 2025 සුපර් ලීග් (පිරිමි) ශූරතාව දිනා ගත්තේය.තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ කේ.කාලෙයි  චෙල්වම්ය.

සුපර් ලිග් (කාන්තා) කුසලාන (2025) වසර හයක් පුරා එය රැක ගෙන සිටි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් හිමි කර ගැනීමට පෙරේදා (17) හයිඩ්‍රාමණී  ක්‍රීඩිකාවන් සමත්වීමත් මෙවර තරගාවලියේ තවත් පෙරළිකාර සිදුවීමකි. 2025 ආධුනික (කාන්තා) ශූරතාව කිරිදිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජයට හිමි විය.

  මෙවර තරගමාලාවටත් සිලෝන් (මංචි) බිස්කට් සමාගම අනුග්‍රහය දැක්වීය.

 

සුපර් ලීග්  කාන්තා ශූරතාව දිනූ හයිද්‍රාමනී කණ්ඩායම 

 

ආධුනික කාන්තා ශූරතාව දිනාගත් කිරිදිවැල සංඝමිත්තා කණ්ඩායමට අනුග්‍රාහක සිලෝන් මංචි බිස්කට් සමාගමේ අධ්‍යක්ෂ ජයංග පෙරේරා මහතා අතින් ශූරතා කුසලාන ප්‍රදානය කළ අයුරු...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, එහි ලේකම් වින්ග් කොමදෝරු අකිල අල්විස්, උප සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ

 

අදහස් (0)

ආධුනික පිරිමි ශූරයන්ට තිළිණ ප්‍රදානය විමර්ශනයෙන් පසුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.