Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආජන්ටිනාව ශූරයන්ගෙත් ශූරයා වෙයි

ආජන්ටිනාව ශූරයන්ගෙත් ශූරයා වෙයි

editorial - 2022 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු කළාපයේ පාපන්දු ශූරයන් බවට පත්වූ ආජන්ටිනාව සහ යුරෝපා කළාපයේ පාපන්දු ශූරයන් බවට පත්වූ ඉතාලිය අතර ශූරයන්ගෙත් ශූරයා තේරීම සඳහා පැවැති තරගයෙන් ගෝල 3-0 ක ජයක් ලැබීමට ආජන්ටිනාව ඊයේ (1 වැනිදා) සමත් විය. 

අවසන් වරට පැවැති කෝපා ඇමරිකා කුසලාන තරගාවලිය ජයගනිමින් ආජන්ටිනාව දකුණු ඇමරිකානු කළාපයේ පාපන්දු ශූරයන් බවට පත්වූ අතර ඉතාලිය යුරෝපා කළාපයේ පාපන්දු ශූරයන් බවට පත්වූයේ අවසන් වරට පැවැති යූරෝ කුසලාන තරගාවලිය ජයගනිමිනි. 

ලන්ඩන් නුවර වෙම්බිලි ක්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගෙත් ශූරයා තේරීමේ තරගය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වූහ. ගෝලයක් ලබාගනිමින් තවත් ගෝලයකට සහය දැක්වූ ලුටරාවෝ මාර්ටිනස්ගේ සහ ගෝල 2 කට සහාය දැක්වූ නායක ලයනල් මෙසීගේ කැපී පෙනුණ දස්කම් එහිදී ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

මෙසීගේ පන්දු යොමු කිරීමකින් පැමිණ පන්දුව තරගයේ 28 වැනි විනාඩියේදී දැල තුළට යොමුකළ මාර්ටිනස්, ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය ලබාගත්තේය. පළමු අර්ධයේ අතිරේක කාලයේදී මාර්ටිනස්ගේ පන්දු යොමු කිරීමකින් පැමිණි පන්දුව දැල තුලට යොමු කළේ ඩි’මරියා විසිනි. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට අර්ජන්ටිනාව ගෝල 2-0 ක් ලෙස පෙරමුණේ පසුවිය. 

දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝල ලබාගැනීමට අසමත් වුවත්, එම අර්ධයේ අතිරේක කාලයේදී මෙසීගේ පන්දු යොමු කිරීමකින් පැමිණි පන්දුව සාර්ථකව දැල තුළට යොමුකළ පාවුලෝ ඩයිබාලා සිය කණ්ඩායමට තවත් ගෝලයක් තිළිණ කළේය. එම ගෝලයත් සමග ගෝල 3-0 කින් ඉතාලිය පරාජය කරමින් ශූරයන්ගෙත් ශූරයා බවට පත්වීමට ආජන්ටිනාව සමත් විය. 

දකුණු ඇමරිකානු කළාපයේ සහ යුරෝපා කළාපයේ ශූරයන් අතර ශූරයන්ගෙත් ශූරයා තේරීමේ තරගයක් පැවැති තෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර 1985 වසරේ පැවැති තරගයේදී ගෝල 2-0 කින් උරුගුවේ පරාජය කිරීමට ප්‍රංශය සමත් වූ අතර 1993 වසරේ පැවැති තරගයේදී දඬුවම් පහර 5-4 කින් ඩෙන්මාර්කය පරාජය කිරීමට ආජන්ටිනාව සමත් විය. 

-036


අදහස් (0)

ආජන්ටිනාව ශූරයන්ගෙත් ශූරයා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.