Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසිත - ළහිරු නවසීලන්තය අමාරුවේ දමති
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

අසිත - ළහිරු නවසීලන්තය අමාරුවේ දමති

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කේන් විලියම්සන්ගේ ඉනිම පන්දු 11 කට පමණක් සීමාකළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිහරඹය කීතුවලට ඉරා දැමූහ. අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුලු දෙකක් බැගින් දවාගත් අතර කසුන් රාජිත විසින් ටොම් බ්ලන්ඩල් දවාගැනීමත් සමගින් නවසීලන්ත බංකුවේ සිටි නම්දැරූ පිතිකරුවන් අවසන් විය.  

අද සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 193 ක් පසුපසින් සිටියේය.

ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (10 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 355 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා දිනය හමාර කළේය.
ඩැරිල් මිචෙල් (නොදැවී 40) සහ මයිකල් බ්‍රේස්වෙල් (නොදැවී 09) දෙදෙනා හැරුණු විට නවසීලන්ත බංකුවේ සිටින සෙසු සියලුම ක්‍රීඩකයෝ පන්දු යවන්නෝ වෙති. හෙට උදෑසනම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තවත් කඩුල්ලක් හෝ දෙකක් දවාගත හැකිනම්, නවසීලන්ත පන්දු යවන්නන්ගේ පිතිහරඹ හැකියාව මැන බලාගැනීමට පුළුවන.

ටොම් ලෙතම් සහ ඩෙවොන් කොන්වේ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව පන්දු 39 ක් ඇතුළතදී ලකුණු පුවරුව කඩුලු 3 කට 76 ක් ලෙසින් වෙනස් කළහ. මෙම ඕවර 6.3 ඇතුළතදී ඩෙවොන් කොන්වේ, හෙන්රි නිකොල්ස් මෙන්ම නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබා සිටින කේන් විලියම්සන් ද දැවී ගියහ.

පිතිකරුවාට සිතාගැනීමටවත් කාලයක් නොතබා යැවුණු යෝකර් පන්දුවකින් ටොම් ලෙතම් දැවී යාමෙන් පසුව කසුන් රාජිත විසින් ටොම් බ්ලන්ඩල්ගේ ඉනිම අවසන් කළ බැවින් නවසීලන්තය අමාරුවේ වැටුණේය.

“අපි ගොඩාක් හොඳින් ක්‍රීඩාකරමින් ඉන්නවා”

“මේ තත්ත්වය හෙටත් තියෙන්න පුළුවන්. මොකද මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට ඉතාම හොඳයි. ඒ නිසා තමයි අපි තේ පානයට ඉස්සරවෙලා පුළුවන් තරම් කඩුලු දවාගන්න උත්සාහ කළේ” යයි තරගයෙන් අනතුරුව කසුන් රාජිත කීවේය.

“මේ තණතීරුවේ පිතිකරුවන්ටත් අවාසිදායකයි කියලා කියන්න දෙයක් නෑ. ඒත් මෙහි තියෙන ඉපිළීම ගැන විශ්වාසයක් තියන්න බෑ” යයි කසුන් රාජිත වැඩිදුරටත් කීවේය.

කෙසේ වෙතත් ටොම් ලෙතම් කියන පරිදි, ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාවට ආසන්න වුවහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් මෙවැනිම අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වඩාත්ම උද්දාමයට පත්වූයේ කේන් විලියම්සන්ගේ කඩුල්ල දවාගැනීමෙනි. තේ පානය ආසන්න වෙද්දී, ළහිරු කුමාරගේ පන්දුවකට කවර් ඩ්‍රයිව් පහරක් ගැසූ විලියම්සන් අපේක්‍ෂා කළ පරිදි එය දිමුත් කරුණාරත්නගේ හිසට ඉහළින් යවාගත නොහැකි විය. පන්දුව වේගයෙන් ඇද ගියත්, කරුණාරත්නට තිබුණේ නිසි කාලය මැනීමකින් සිය දෑත් පියාගැනීම පමණි.

තම 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ ටොම් ලෙතම් නවසීලන්ත ඉනිමේ නැංගුරම වූයේය. එහෙත් අසිත ප්‍රනාන්දුගේ යෝකර් පන්දුවකින් ලෙතම්ගේ ගමන නිමා කෙරිණ.

කඩුලු 6 කට ලකුණු 305 ක් ලබාසිටියදී, අද උදෑසන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 17 කදී තවත් ලකුණු 50 ක් ඉනිමට එකතු කරගත්තේය. ධනංජය ද සිල්වා උදෑසන සිටම ආක්‍රමණයට පිළිපන් නමුත් එය රඳා පැවතියේ මඳ වේලාවකි. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 න් 9 ක්ම නායක ටිම් සවුති (64/5) සහ හෙන්රි නිකොල්ස් (80/4) දෙදෙනා විසින් බෙදාගන්නා ලදහ.


අදහස් (0)

අසිත - ළහිරු නවසීලන්තය අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.