Last Update  :  2025-05-30 00:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට

අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට

editorial - 2025 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ගුමී නුවරදී පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවට අහිමි කළ  මීටර 400 × 4 ( මිශ්‍ර) සහය දිවීමේ ලෝකඩ පදක්කම ඊට එරෙහිව ඉදිරිපත්වූ අභියාචනාව පිළි ගැනීමෙන් පසුව යළි ශ්‍රී ලංකාවට හිමි විය.

එහිදී ශ්‍රී ලංකාවෙන් ඉවත් කළ  ලෝකඩ පදක්කම කළින් ප්‍රදානය කර තිබුණේ දකුණු කොරියාවටයි. කෙසේවූවත් තරග නීති උල්ලංඝණය කිරීමේ චෝදනා ලැබීමෙන් පසුව මුල් ප්‍රතිපල ලේඛනයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාව සමග චීනයද ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ඉසව්වේ සංශෝධිත අවසන් ප්‍රතිපලයට අනුවත් එහි රන් පදක්කම දිනා තිබුණේ ඉන්දියාව විසිනි. ඒ විනාඩි 3 තත්පර 18.12 කටය.

සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස්, කාලිංග කුමාරගේ හා නිෂේන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමේ ධාවනයේ යෙදෙමින් විනාඩි 3 තත්පර 21.95 කට ලෝකඩ පදක්කම දිනා ගත්හ.

විනාඩි 3 තත්පර 20.52 කට එහි රිදී පදක්කම චීනය හිමි කර ගත් බව ඒ අනුව නිල වශයෙන් ප්‍රකාශ විය. ශ්‍රී ලංකා හා චීන සහය දිවීමේ කණ්ඩායම් ඉවත් කරමින් නිකුත් කර තිබූ ඉසව්වේ මුල්  ප්‍රතිපල ලේඛනයට අනුව රිදී පදක්කම හා ලෝකඩ පදක්කම පිළිවෙලින් දිනා තිබුණේ කසකස්ථානය හා දකුණු කොරියාව විසිනි. 

ශ්‍රී ලංකාව පසු ගිය (2023 - බැංකොක්) තරගාවලියේදී මෙහි රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව මෙවර ආසියානු තරගාවලියේ ඊයේ වන විට දිනා තිබූ සෙසු ලෝකඩ පදක්කම මීටර 400 ක්‍රීඩක  කාලිංග කුමාරගේ තත්පර 45.55 කට හිමි කර ගෙන තිබුණි. කාලිංග අවසන් තරගයට නිර්දේශ ලැබුවේ ඉසව්වේ මූලික වටයේදී තත්පර 46.59 ක කාලයක් හා අවසන් පූර්ව වටයේදී තත්පර 45.74 ක නිර්දේශ කාලයන් දෙකක් වාර්තා කරමිණි.

එහිදී අවසන් පූර්ව හා අවසන් තරග දෙකේම ඔහුගේ කාලයන් වාර්තා වූයේ මේ තරග සමයේ මෙතෙක් හොදම කාල අගයන් ලෙසයි.

මේ අතර ඊයේ තරගාවලියේ වාර්තාවූ වැදගත්ම සිදුවීමක් වූයේ ගිය වර (2023) තරගාවලියේ මීටර 400 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා 30 හැවිරිදි නදීෂා රාමනායකගේ  පරාජයයි. එහිදී ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 54.70 කට ඇය හත් වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටුණි.

මෙහි රන් පදක්කම දිනා ගත්තේ ජපන් ක්‍රීඩිකා නනාකෝ මට්සුමොටෝ විසිනි. ඒ තත්පර 52.17 කටය. නදීෂා මෙහි රන් පදක්කම ගිය වර දිනා ගත්තේ  තත්පර 52.61 ක සිය එතෙක් හොදම ඉසව්වේ දක්ෂතාවය වාර්තා කරමිණි.

ඊයේ මීටර 100 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට සමත් නොවීය. ඔහු එහිදී වාර්තා කළ කාලය තත්පර 10.46 කි. චමෝද් එහිදී මූලික වටයේදී තත්පර10.40 ක වැඩි වේගයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරගයට නිර්දේශ ලැබීය.

ඊයේ පැවැති මීටර 100 (පිරිමි) ඉසව්වේ අවසන් තරගය තත්පර 10.20 කට ජය ගත් ජපන් ක්‍රීඩක හිරෝකී යනගිටා ආසියාවේ අළුත්ම වේගවත්ම මිනිසා බවට පත් විය.චීන ක්‍රීඩිකා ලියෑන්ග් ඉයාඕජින්ග් තත්පර 11.37 කට මීටර 100 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඊයේ දිනා ගනිමින් ආසියාවේ වේගවත්ම කාන්තාව බවට පත්වූවාය.

අද (29) තරගයේ තෙවැනි දිනයයි.ශ්‍රී ලංකා ක්‍රීඩක ලෙසදු ආතාවිදු තරග වදින උස පැනීම (පිරිමි) ඉසව්ව ඇතුළුව ශ්‍රී ලංකාව සහභාගි වන සහය දිවීමේ ඉසව් කීපයක අවසන් තරගත් අද පැවැත්වේ

 

අභියාචනයෙන්  ලෝකඩ පදක්කම තහවුරු කර ගත් මීටර 400 × 4 (මිශ්‍ර) ශ්‍රී ලංකා සහය දිවිමේ කණ්ඩායම.

 


අදහස් (0)

අවලංගු කළ ලෝකඩ පදක්කම යළි ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.