Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අලුත් නායකයාට අසීරු අභියෝගයක්

අලුත් නායකයාට අසීරු අභියෝගයක්

editorial - 2021 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ අලුත්ම එක්දින නායකයා වන කුසල් ජනිත් පෙරේරා හමුවේ ඇත්තේ පහසු අභියෝගයක් නොවේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන 23 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය කාලයේදී සිදුවූ අතපසුවීම් වල හිදැස් පුරවා ගැනීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි තරගාවලියට පිවිසෙන්නේ නැවුම් මනසකිනි. අලුත් නායකයාට මෙන්ම නව උපනායකයාටද වගකීම් පැටවීම නිසා වෙනදා මෙන් 50 - 60 කෑලි නොව, හැකි තරම් විශාල ඉනිම කරා යාමට ඔවුන් දෙදෙනාටම සිදුවනු ඇත.

ඇරත් වත්මන් විස්සයි-20 යුගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 300 ක් ලබාගත්තත්  එක්දින තරගයක ජයග්‍රහණය ගැන විශ්වාසයක් තබාගැනීම අපහසුය. එබැවින් පිතිකරුවන් අත ඇත්තේ දැවැන්ත කාර්යභාරයකි.

එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරග තුනම පරාජය වූ හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතැනින් සිට අලුතෙන් ගමන ආරම්භ කළ යුතුව තිබේ.

පළපුරුදු ක්‍රීඩකයන් දෙදෙනකු වන සකිබ් අල් හසන් සහ මුස්ටෆිසුර් රෙහෙමාන් දෙදෙනාම නැවතත් කණ්ඩායමට එක්කරගත් බංග්ලාදේශය සූදානම් වන්නේ වසර 2018 සිට සිය මව්බිමේදී පවත්වාගෙන එන එක්දින ආධිපත්‍යය තහවුරු කරගැනීමයි. වසර 2018 සිට මේ දක්වාම බංග්ලාදේශයේදී පැවැති එක්දින තරග 12 කින් තරග 11 ක්ම බංග්ලාදේශය ජයගෙන ඇතත් ඒ සියලු තරග ජයගෙන ඇත්තේ දුර්වල කණ්ඩායම් සේ සැලකෙන සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් වලට එරෙහිවය.

සකිබ් අල් හසන් අංක 3 ස්ථානයේදී ස්ථිර වශයෙන්ම පන්දුවට පහර දෙන බව අද පැවැති මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල් සහතික කළේය. අංක 3 ස්ථානය සකිබ්ගේ ප්‍රියතම ස්ථානයයි. 2019 ලෝක කුසලාන තරගාවලියේදී අංක 3 ස්ථානයෙන් ක්‍රීඩා කළ සකිබ් අල් හසන් ලකුණු 606 ක් ලබාගත් අතර ඔහුට ඉදිරියෙන් සිටියේ රෝහිත් ෂර්මා (648) සහ ඩේවිඩ් වෝනර් (647)  පමණි.

මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 9 වැනි ස්ථානයට ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග සටහනේ 12 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ. එහෙත් වසර 2023 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් මෙම ලකුණු සටහනේ පළමු 8 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් විය යුතුව තිබේ.

යම් හෙයකින් පළමු 8 දෙනා අතරට එක්විය නොහැකි වුවහොත්, 2023 ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් දෙක අතරට එක්වීම සඳහා තවත් කණ්ඩායම් කිහිපයක් සමගින් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට මුහුණ දීමට සිදුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින සුපිරි ලීග් සටහනේ 12 වැනි ස්ථානයේ සිටියත් කොදෙව් තරගාවලියේදී සිදුවූ මන්දගාමී පන්දු යැවීම නිසා දඬුවම් ලකුණු 2 ක් පිරවීමට තිබේ. එබැවින් බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්තද ශ්‍රී ලංකා පිලට හිමිවන්නේ ලකුණු 28 ක් පමණි. එසේ වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකාවට හැකි වෙතත් එතැන් සිට ලෝකයේ අනෙක් රටවල් සමග උරෙනුර ගැටී තරග කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුවනු ඇත.

 


අදහස් (0)

අලුත් නායකයාට අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.