Last Update  :  2026-02-14 23:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තයට ලකුණු 96 ක දැවැන්ත ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

අයර්ලන්තයට ලකුණු 96 ක දැවැන්ත ජයක්

editorial - 2026 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඕමානය පැමිණියේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට වත් සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් නොවේ. මාස හතකට පමණ ඉහතදී සමස්ත ඕමාන කණ්ඩායමම එලවා දමා අලුත් ක්‍රීඩකයන් පිරිසක් සමගින් ලෝක කුසලාන තරගාවලියට පැමිණි වත්මන් ඕමාන කණ්ඩායමේ මූලික බලාපොරොත්තුව වූයේ ලෝකයේ ඉදිරිපෙළ කණ්ඩායම් හා තරග කරමින් අත්දැකීම් ලබාගැනීමයි. 

එනිසාම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගයේදී අයර්ලන්තය හමුවේ ලද ලකුණු 96 පරාජය ඕමානයට ඉවසාගත හැකිය. එහෙත් අයර්ලන්තයට නම් එය සියුම් බලාපොරොත්තුවක් තබාගත හැකි ආකාරයේ ජයග්‍රහණයකි. 

ලෝකන් ටකර්ගේ (නොදැවී 94) අති විශිෂ්ට පිතිහරඹයත්, ගැරත් ඩෙලානිගේ පන්දු 30 ලකුණු 56 ත්, අවසන් ඕවරයේදී ගැසූ හයේ පහර 3 ක් ද සමගින් ජොර්ජ් ඩොක්රල් පන්දු 9 කින් ලබාගත් ලකුණු 35 ත් නිසා අයර්ලන්තය නියමිත ඕවර 20 නිමාවේදී ලකුණු 235 ක් ලබාගත්තේය. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැළේදී ඕමානයට එරෙහිව ලබාගත් ලකුණු 225 අභිබවා යාමක් ද විය. 

අයර්ලන්ත ඉනිම ආරම්භ වූයේ ඔවුන් අපේක්‍ෂා කළ ආකාරයෙන් නොවේ. තුන්වැනි ඕවරයේදී ලකුණු 25 කට කඩුලු දෙකක් ම බිඳ වැටුණ අතර 8 වැනි ඕවරය වන විට ලකුණු 64 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබිණ. එහෙත් ලෝකන් ටකර් සහ ගැරත් ඩෙලානි අතර පැවැති ලකුණු 101 ක සම්බන්ධය තරගය වෙනමම ඉසව්වකට ඇදගෙන ගියේය. මෙම ශතක සම්බන්ධතාව වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 56 කට පමණි. 

ගැරත් ඩෙලානි දැවී යාමෙන් පසුව යැවුණු පන්දු 19 දී අයර්ලන්ත පිතිකරුවෝ ලකුණු 70 ක් ලබාගත්හ. 

අගනා ශතකයක් සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් ලෝකන් ටකර්ට තිබුණ නමුත් ජෝර්ජ් ඩොක්රල් අවසන් ඕවරයේ පන්දු 3 ටම හයේ පහර 3 කින් සංග්‍රහ කළ බැවින් ටකර්ට ශතකය අහිමිවිය.

ඕවර 20 කින් ලකුණු 236 ක් ලබාගැනීමේ අසීරු අභියෝගයක් අභිමුව වූවත් සටන්කාමී පිතිහරඹයක් ආරම්භ කළ අමීර් කලීම් (50) සහ හමාඩ් මිර්සා (46) එක්ව ඕවර 10 කදී ලකුණු 97 ක් කණ්ඩායමට එකතු කළහ. එහෙත් කලීම් දැවීයාමෙන් පසුව ඕමානයේ සෙසු පිතිකරුවන් සියලු දෙනාම එක මිටට ගත් අයර්ලන්ත පන්දු යවන්නෝ ලකුණු 42 ක් ඇතුළත කඩුලු 8 ක් දවාගනිමින් ලකුණු 96 ක දැවැන්ත ජයක් තම කණ්ඩායමට ගෙන දුන්හ. 

අයර්ලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වමතින් වේග පන්දු යවන ජොෂ් ලිට්ල්, ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජය වී සිටි අයර්ලන්තය ලෝක කුෂලාන තරගාවලියේදී ලබාගත් පළමු ජයග්‍රහණය මෙයයි. අයර්ලන්තය අද තරග කළේ ආබාධයකට ලක්වූ නිත්‍ය නායක පෝල් ස්ටර්ලිං නැතිවය. 


අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ට 235 යි
(රොස් ඇඩෙයාර් 14, හැරී ටෙක්ටර් 14, ලෝකන් ටකර් නොදැවී 94, කර්ටිස් කැම්පර් 12, ගැරත් ඩෙලානි 56, ජෝර්ජ් ඩොක්රල් නොදැවී 35, ශකීල් අහමඩ් 33/3)


ඕමානය - ඕවර 18 කදී සියලු දෙනා දැවී 139 යි
(අමීර් කලීම් 50, හමාඩ් මිර්සා 46, සුෆ්යන් මෙහෙමුද් 10, මැතිව් හම්ප්‍රේස් 27/2, බැරී මැකාති 32/2, ජොෂ් ලිට්ල් 16/3

 


අදහස් (0)

අයර්ලන්තයට ලකුණු 96 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.