Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපි මේ තරම් දරුණු පරාජයක් ලබන්න සුදුසු කණ්ඩායමක් නෙමෙයි
ආසියානු කුසලාන

අපි මේ තරම් දරුණු පරාජයක් ලබන්න සුදුසු කණ්ඩායමක් නෙමෙයි

editorial - 2022 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද ඩුබායි සිට...)

ඕවර 2 ක් තුළ මුල් පිතිකරුවන් තිදෙනාම දැවී යෑමෙන් ඇති වූ අවාසි දායක තත්ත්වය මඟ හරවා ගැනීමට නොහැකි වීම ඇෆ්ඝනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත පරාජයට බෙහෙවින්ම බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. තරගයෙන් අනතුරව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

“පළමු ඕවර දෙක තුළ කඩුලු 3 ක් බිඳ වැටුණාම නැවතත් තරගයට අවතීර්ණ වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම විස්සයි-20 තරගයක. ඒක පසුගිය කාලෙ අපිට දිගින් දිගටම වුණ දෙයක්. තරග පරාජය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපේ කණ්ඩායම මේ වගේ පරාජයක් ලබන්න තරම් සුදුසු කණ්ඩායමක් නෙමේ කියලා මම හිතනවා.” යැයි එහිදී දසුන් පැවසීය.

නිලකුණු ඕවරයක්ද යවමින් ශ්‍රී ලංකා ඉනිමේ මුල් ඕවර 4 ලකුණු 13 කට සීමා කළ ඇෆ්ඝනිස්ථාන ආරම්භක පන්දු යවන්නන් දෙදනො එහිදී කුසල් මෙන්ඩිස් (2), චරිත් අසලංක (0) සහ පැතුම් නිස්සංක (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළහ. එම ඕවර 4 පුරා ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු හතරේ සීමාවෙන් ඔබට යැවිය හැකි වූයේද අවස්ථා 2 කදී පමණකි.

“ඒ‍‍ගොල්ලො අලුත් බෝලෙන් හුඟක් හොඳට පන්දු යැව්වා. එහෙමයි කියලා අපිට කිසිම සමාවක් නෑ. මො‍කද පිතිකරුවො විධියට අපි ඕනෑම තත්ත්වයකදී පන්දුවට පහර දෙන්න සූදානම් වෙලා ඉන්න ඕන. අපි දැක්ක ෆරූකි ඇවිල්ලා අලුත් පන්දුවෙන් දෙපැත්තටම දෝලනය කළා. නවීනුත් හොඳින් පන්දුව දෝලනය කළා. ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියද කියන එක අපේ පිතිකරුවන්ගෙන් අහන්න ඕන.” යැයිද දසුන් සඳහන් කළේය.

පැතුම් නිස්සංක නොදැවුණ ක්‍රීඩකයකු බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ශක්ෂි තිබයදීත් ඔහු දැවී ගිය බවට සංඥ්ඥා කිරීමට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජයරාමන් මදනගෝපාල් මහතා පියවර ගැනී‍ම දැඩි මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත් විය. විඩියෝ දර්ශන නැරඹීමේදී කඩුලු රකින්නා අතට පත්වීමට පෙර පන්දුව පිත්තේ නොවදින බව නිරීක්ෂණය වීමත් සමග පිටියේ සිටි  ක්‍රීඩකයන් සියලු දෙනා යළිත් තරගය ආරම්භ කිරීමට සූදානම් වූහ.

එහිදී ඊළඟ ‍ඕවරය යැවීම සඳහා ෆකූරි පන්දුවට අතට ගැනීමට සූදානම් වූ අතර ධනුෂ්ක සහ පැතුම් එම ඕවරයට මුහුණදීම සඳහා සිය සීමා ඉරිවෙත ගොස් සිටියහ. එහෙත් එම අවස්ථාවේදී කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් පැතුම් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට තෙවැනි විනිසුරු පියවර ගැනීමත් සමග ඔහුට අපේක්ෂා භංගත්වයට පත්වෙමින් පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක්ද අහිමි විය.

“දැන් තාක්ෂණය හරිම දියුණුයි. අපිට ඒ තාක්ෂණය යොදාගෙනත් නිවැරදි තීරණ ලබාගන්න බැහැ කියන්නෙ ඒක ගොඩක් ලොකු පාඩුවක්. ශ්‍රී ලංකා කණ්ඩායම විධියට අපිට ඒ වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. මොකද ඒ වගේ දෙයක් වුණාම කණ්ඩායමක් විධියට අපිට පස්සට යන්න තියන අවස්ථාව ගොඩක් වැඩියි.” යැයි එම සිදුවීම සම්බන්ධයෙන් දසුන් කියා සිටියේය.

සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන ධනුෂ්ක ගුණතිලක ස්ථාන 2 ක් පසුබසිමින් මෙම තරගයේදී අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා පැමිණියේය. එහෙත් එම ස්ථානයේද එතරම් සාර්ථකත්වයක් දැක්වීමට නොහැකි වූ ඔහු, මුජිබුර් රහමන්ගේ පන්දුවක් හමුවේ කරීම් ජානට් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලබා සිටියේ ලකුණු 17 ක් පමණි.

“ධනුෂ්ක පසුගිය කාලෙ ගොඩක් ලකුණු අතර හිටියෙ නෑ. අපිට ඕන වෙලා තිබුණෙ මැද පෙළට ගෙනල්ලා ධනුෂ්කගෙන් වැඩක් ගන්න පුලුවන්ද කියලා බලන්න. එයා වයස 19 න් පහළ සෙල්ලම් කරලා ක්‍රීඩ සමාජයට එනකොට මැද පෙළ පිතිකරුවෙක් විධියට තමා ක්‍රීඩා කළේ. පස්සෙ තමා එය ආරම්භක පිතිකරුවෙක් විධියට පරිවර්ථනය වුණේ.”

“විස්සයි-20 තරගවලදි අපිට හයියෙන් පහර දෙන ක්‍රීඩකයෙක් අවශ්‍යයි මැද පෙළට. අපි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අරන් බැලුවොත් මැතිව් වේඩ් ආරම්භක පිතිකරුවෙක් විධියට ඇවිල්ලා පසුගිය ලෝක කුසලාන තරගාවලියෙදි මැද පෙළ පිතිකරුවෙක් විධියට ලොකු වෙනසක් කළා. ධනුෂ්කටත් පුලුවන් වේගයෙන් ලකුණු රැස්කරන්න. ඒකයි අපි ඒ අත්හදා බැලීම කරලා බැලුවේ.” යැයි දසුන් පැවසීය.


අදහස් (0)

අපි මේ තරම් දරුණු පරාජයක් ලබන්න සුදුසු කණ්ඩායමක් නෙමෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.